ඉන්දීය තරගාවලියට කණ්ඩායමේ ලොකු වෙනසක් සිදු නොවන බවත්, පාකිස්තාන තරගාවලියට ක්‍රීඩා කළ ටෙස්ට් කණ්ඩායමට සමාන කණ්ඩායමක් ඉන්දියාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ඉන්දීය තරගාවලිය ආරම්භ වීමට ප්‍රථමව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
මෙම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියට සමුදෙන හෙයින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඔහුට ලබා දිය හැකි හොඳම ගෞරවය බවත් මැතිව්ස් පැවසීය.
“අන්තිම වතාවට ඉන්දියාව හා අපි මුණ ගැහුණ අවස්ථාවේ මුරලි සමුගත්තා. මේ අවස්ථාවේදී සංගා සමුගන්නවා. මම කණ්ඩායම් දෙකටම සුබපතවා. කොහොම වුණත් හොඳින් තරග කරන කණ්ඩායම ජයග්‍රහණය කරනවා.
පාකිස්තානයත් එක්ක අපිට අමාරු තරගාවලියක් තිබුණා. නමුත් ඉන්දීය තරගාවලියට අපි හොඳින් සූදානම්. මේ තරගාවලියේදී හොඳ තරගයක් තිබේවි. අපේ කොල්ලො තරගාවලියට සූදානම්.
දුෂ්මන්ත චමීර හා සුරංග ලක්මාල් ආබාධයකට ලක්වෙල තියෙනවා. පළමු තරගයට ඔවුන් ක්‍රීඩා කරන එකක් නෑ රංගනගේ ආබාධය හොඳයි. මගේ ආබාධය තවමත් හොඳ නෑ. නමුත් ක්‍රීඩා කළ හැකි මට්ටමක තිබුණොත් මම අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා. ඉන්න කට්ටිය එක්ක හොඳින් ක්‍රීඩා කර තරගාවලිය ජයගන්න බලාපොරොත්තුවෙනවා.
සංගා වැනි ක්‍රීඩකයෙක් යවන්න පුළුවන් හොඳම විදිය තමයි තරගාවලිය ජයග්‍රහණය කිරීම. තරගාවලිය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. සංගා නැවතත් කණ්ඩායමට පැමිණීම ශක්තියක්. අවසන් තරගාවලියට ක්‍රීඩා කරපු අයම මේ තරගාවලියටත් ක්‍රීඩා කරනවා. ලොකු වෙනසක් කණ්ඩායමේ වෙන්නේ නෑ. තේරීම් කමිටුව මුණ ගැසුණු පළමු දවසේ ඉඳලා අපි තීරණය කළෙ සීමිත වෙනස් කිරීම් කරමු කියලා. මාස හයක්, අවුරුද්දක් යන විට කණ්ඩායම ස්ථාවර වේවි. මාස හයක් විතර හැලහැප්පීම් වේවි. කොහොම වුණත් අපි පසුගිය වසර දෙකේදී හොඳට ක්‍රීඩා කර තියෙනවා. අපිට ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකියි” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
අපේ සැලසුම සංගා දවා ගැනීමයි - ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි
ඉන්දීය කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයට පත්වීමෙන් පසුව තමන් සහභාගී වන පළමු ටෙස්ට් තරගාවලිය මෙය වුවත් නායකත්වයේ පීඩනය ගෙන සිය ක්‍රීඩා රටාව වෙනස් නොකරන බව ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පැවසීය.
එසේම ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ අවසන් තරගාවලිය මෙය බවත් ඔහු දවාගැනීම ඉන්දීය කණ්ඩායමේ සැලසුම බවත් කෝලි සඳහන් කළේය.
"මගේ තරග දිවිය පටන් ගත්තෙ ශ්‍රී ලංකාවේදී. ශ්‍රී ලංකාව මම ආසාවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක්. මේක හොඳ තරගාවලියක් වේවි. කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩා කරනවා. නායකයා වශයෙන් මම හිතන්නෙ නෑ මගේ ක්‍රීඩා විලාසය වෙනස් කළ යුතුයි කියලා. මම හැමවෙලේම වගකීමෙන් ක්‍රීඩා කරන්න බලන්නෙ. නායකත්වයෙ කියලා පීඩනයක් ගන්නෙ නෑ. මම හොඳින් පිතිකරණයේ යෙදෙන්න බලාපොරොත්තුවෙනවා. අපි ඔස්ට්‍රේලියාවේදී හොඳින් ක්‍රීඩා කළා. කණ්ඩායමේ හැමෝටම හොඳ මානසිකත්වයක් තියෙනවා. මම හිතන්නෙ තරගාවලිය සමබරයි.
කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන් ඇතුළත් වෙලා තියෙනවා. ඔවුන් හොඳින් දක්ෂතා දක්වනවා. කුමාර් මේ තරගාවලියේදී සමුගන්නවා. ඒක ඔවුන්ට අභියෝගයක් වේවි. අපේ සැලසුම තමයි ඔහුව දවාගැනීම. සංගාගේ අවසන් තරගාවලිය නිසා හොඳ සැලසුම් ඇති. ලෝකයේ ඉන්න හොඳම වමත් පිතිකරුවන් තිදෙනෙක්ගෙන් අයෙක් තමයි සංගා. ඔහු ශ්‍රී ලංකාවට තරග දිනවන්නෙක්. මට ඔහුත් එක්ක හොඳ සබඳතාවක් තියෙනවා.
කණ්ඩායම් දෙකම නැගී සිටීමේ අදිරයක ඉන්නේ. නමුත් අපි ක්‍රීඩා කරපු ආකාරයේ ලොකු වෙනසක් කරන්නෙ නෑ. අපි අවසන් තරග කිහිපය පරාජය වුණා. නමුත් අපි ගොඩක් වැඩ කරලා තියෙනවා. අපේ තරග සැලස්මක් තියෙනවා" යැයි කෝලි පවසා සිටියේය.
මේ අවස්ථාවේ ඉවසිල්ලෙන් කටයුතු කළ යුතුයි - ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු
"අපිට අලුත් මුහුණු කිහිපයක් ඉන්නවා. ඒක අපිට අභියෝගයක්. ඔවුන්ගේ වගකීම තේරුම් ගන්න ටික කාලයක් යනවා. අපි සැලසුම් කරන්නෙ හොඳ වටපිටාවක් ඔවුන්ට සකස් කර දෙන්නයි. අපි ප්‍රතිඵල වශයෙන් ගන්න කොට මේ අවස්ථාව ඉවසිල්ලෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් අපි 2019 වසරේ එංගලනත්යේ තියෙන එක්දින ලෝක කුසලානය ගැන බලන්න ඕන. ක්‍රීඩකයන් ගැන සලකා බලා ඔවුන් තරග කිහිපයකන් ක්‍රීඩා කර අත්දැකීම් ලබා දිය යුතුයි. විස්සයි 20 ලෝක කුසලානයට තරග 10 තියෙන්නෙ. මෙයට හොඳ කණ්ඩායමක් යන්න නම් අපි ජාත්‍යන්තර තරග සඳහා ඔවුන් යොදාගත යුතුයි. එහෙම බලද්දී කපුගෙදර හොඳ වර්ධනයක් ලබාගෙන තිබෙනවා"
ඡායාරූප ශමීර රාජපක්ෂ