තරග පහකින් සමන්විත එංගලන්ත - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (29දා) පැවැත්වේ. දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු සමවීම නිසා ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර, දෙවැනි තරගයෙන් එංගලන්ත කණ්ඩායම කඩුලු 10ක ජයක් හිමිකර ගත්තේය. පසුගිය ඉරිදා (26දා) බ්‍රිස්ටල්හි පැවැති තෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට සිදුවිය.
තරග තුනකින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙසින් ජය හිමි කරගැනීමට එංගලන්තයට හැකිවූ බැවින් පළමු වරට සුපිරි තරගාවලියක් ලෙසින් පැවැත්වෙන එංගලන්ත - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ජය මේ වනවිටත් එංගලන්තය හිමිකරගෙන අවසන්ය. එංගලන්තය මේ වනවිට ප්‍රසාද ලකුණු 14ක් ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 04ක් පමණි. එමනිසා එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙක හා විස්සයි20 තරගය ශ්‍රී ලංකාව ජයගත්තද, සුපිරි තරගාවලියේ (සමස්ත තරගාවලිය) ජය සත්කාරක එංගලන්තයෙන් උදුරාගැනීමට එය ප්‍රමාණවත් නොවේ.
කෙසේ නමුත් මෙම තරගාවලියේ ගිලිහී යමින් පවතින ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිමානය රැකගැනීමට හා එක්දින තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් සටනක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත.අවසන් වරට ඕවල් පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයකට මුහුණ දුන්නේ 2013 වසරේදීය. එම තරගයේදී එංගලන්තයෙන් එල්ල වූ ලකුණු 294ක ඉලක්කය, පන්දු 17ක් ඉතිරිව තිබියදී කඩුලු 07ක් අතැතිව පහසුවෙන් පසුකර යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිණි.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර පන්දු 135දී නොදැවී ලකුණු 134ක් වාර්තා කළ අතර, ඔහුට අනගි සහායක් ලබාදුන් නුවන් කුලසේකර පන්දු 38දී නොදැවී ලකුණු 58ක් රැස් කළේය. එම තරගය සම්බන්ධයෙන් මෙන්ම, සෙසු තරග දෙසද අවධානය යොමු කළවිට පෙනී යන්නේ වර්ෂාවෙන් බාධා ඇති නොවුණහොත් ඕවල් පිටිය පිතිකරුවන්ට ලකුණු ඇති තණතිල්ලක් බවය.
ටෙස්ට් ක්‍රිකට් තරග රටාව සහ එක්දින තරග රටාව අබිබවා පන්දුවාර විස්සයි20 තරග රටාවට ඉදිරියට පැමිණීමත්, පිතිකරුවන් ඉතා ශීඝ්‍රයෙන් එයට අනුගතවීමත් හේතුවෙන් වර්තමානය වනවිට පන්දුවාර 50 තරගයක, තරගයක් ලබාදීමට නම් පළමුවෙන් පන්දුවට පහරදෙන කණ්ඩායමට ලකුණු 300 සීමාව පසුකර යෑමට සිදුවේ. එහෙයින් අද තරගයේදී කාසියේ වාසිය හිමි කරගනිමින් හෝ එංගලන්ත නායකයාගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දෙන්නේ නම් ශ්‍රී ලංකා පිතිකරුවන් අවම වශයෙන් ලකුණු 300 සීමාවවත් පසුකර යා යුතුය.
එහෙයින් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට සාපේක්ෂව පිතිකරුවන් යම් ප්‍රමාණයකින් දක්ෂතා ඉදිරිපත් කරමින් සිටින බැවින්, මැතිව්ස් කාසියේ වාසිය හිමිකර ගතහොත් එංගලන්ත පන්දු යවන්නන් පීඩනයට හසුකර ගැනීම සඳහා දෙවැනිවර පන්දුවට පහරදීම ප්‍රතිඵල දායකය. එහෙත් ගැටලුව ඇත්තේ ආරම්භක පන්දුවාර කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ කඩුලු කිහිපයක් බිඳ වැටීමය. මෙම තත්ත්වයට පිළියමක් නොලැබුණහොත් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නද, දෙවැනිවර පන්දුවට පහර දුන්නද පීඩනයට හසුවීම වැළැක්විය නොහැකිය. එබැවින් පන්දුවාර 10-15ත් අතර කඩුලු ආරක්ෂා කරගනිමින් ලකුණු රැස්කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන් උත්සාහ කළ යුතුය.
ධනුෂ්ක ගුණතිලකට තවමත් සාර්ථකවීමට අවස්ථාවක් හිමිනොවූ බැවින් මෙන්ම උපුල් තරංග ලකුණු අතර සිටින බැවින් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සංයෝගයේ වෙනසක් සිදුවිය හැකිය. එහෙත් මේ වනවිට සුපිරි තරගාවලිය පරාජයට පත්වී ඇති බැවින් සහ තවත් ඉතිරිව ඇත්තේ එක්දින තරග දෙකක් බැවින් ධනුෂ්කට ආරම්භක පිතිකරුවෙකු ලෙස විශ්වාසය ගොඩනගා ගැනීමට තවත් අවස්ථාවක් හෝ දෙකක් ලබාදිය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු.
එංගලන්ත ආරම්භක වේගපන්දු යවන්නන් වන ක්‍රිස් වෝක්ස් සහ ඩේවිඩ් විලී නව පන්දුවෙන් දෝලනයක් සමගින් හොඳින් පන්දු යවමින් සිටින බැවින් ලකුණු අතර සිටින උපුල් බිල්ලට දීම පසුපෙළ පිතිකරුවෙකු ලෙසින් ලැබෙන ලකුණු ප්‍රමාණයද නොලැබීමට හේතුවක් විය හැකිය. තවද ඩේවිඩ් විලී නව පන්දුවෙන් බොහෝ අවස්ථාවලදී කඩුලු ලබාගන්නා පන්දු යවන්නෙකු ලෙසින්ද ප්‍රචලිත බැවින් ලකුණු අතර සිටින උපුල් පසුපෙළ පිතිකරුවෙකු ලෙසින් ආරක්ෂා කරගත යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. කෙසේ වෙතත් උපුල්ද ආරම්භක පිතිකරුවෙකු බැවින් අද තරගයේ දී එම ස්ථානයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවුවහොත් ගිලිහී ගිය සිය ස්ථානය රැක ගැනීමට උත්සාහ කළ යුතුය.
මේ වනවිට සුපිරි තරගාවලියේ ජය හිමිකරගෙන සිටියද, අවසන් එක්දින තරගයට පෙර එක්දින තරගාවලියේද ජය හිමිකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින එංගලන්ත කණ්ඩායම අද තරගයටද සුපුරුදු කණ්ඩායම සමගින් පිටියට පිවිසෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එංගලන්ත පිතිකරුවන් අතර නිරන්තරයෙන් සාර්ථකත්වයක් අපේක්ෂාවෙන් පසුවන ජෝ රූට්ට තවමත් මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දක්ෂතා දැක්වීමට අවස්ථාවක් හිමිනොවූ බැවින් අද තරගයේදී ඔහුගෙන් යමක් අපේක්ෂා කළ හැකිය. එසේ වුවහොත් ලකුණු 300 ඉලක්කයක් වුවද හඹායෑම එංගලන්ත කණ්ඩායමට අපහසුවක් නොමැත.
දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය මෙරට වේලාවෙන් අද (29දා) ප.ව. 5.30ට ආරම්භ වේ.