අට වැනි ඉන්දීය ප්‍රීමියර් ලීග තරගාවලිය අද (08දා) එහි වර්තමාන හිමිකරුවන් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා 2013 වසරේ ශූරතාව හිමිකරගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙයි.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එක්වෙන්නේ ක්‍රීඩකයන් තිදෙනෙක් පමණකි. ඒ අනුව නායක ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමටත්, තිසර පෙරේරා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායමටත්, සුපුරුදු පරිදි ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරනු ඇත. චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජරස් බැංගලොර් හා සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් සඳහා මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා නොකරනු ඇත.
මෙවර තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයන් තිදෙනා අතරද මැතිව්ස් සිටියේය. කෙසේ වෙතත් හෙට (09දා) චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම් අතර තරගයට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක තිබේ.
ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තමිල්නාඩුවේ ක්‍රීඩා කිරීමට තමිල්නාඩු බලධාරීන් විරෝධය දැක්වීම හේතුවෙනි. මේ දක්වා පවත්වා ඇති තරගාවලි හතේදී චෙන්නායි කණ්ඩායම (2010, 2011) හා කොල්කටා කණ්ඩායම (2012, 2014) අවස්ථා දෙක බැගින් ශූරතා ජයග්‍රහණය කර තිබේ.
ඊට අමතරව 2008දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, 2009 දී එවකට ඩෙකෑන් චාර්ජරස් කණ්ඩායම (වත්මන් සන්රයිසස් හයිද්‍රාබාද්) , 2013දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරතා හිමිකරගෙන තිබේ. තරගාවලියේ මේ දක්වා වාර්තා කර තිබෙන ඉහළම කණ්ඩායම් ලකුණු ප්‍රමාණය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම රැස්කර තිබේ. 2013 වසරේදී පූනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු පහට ලකුණු 263ක් රැස්කිරීමට ඔවුහු සමත්වූහ. 2009 වසරේදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හමුවේ ලකුණු 58ට දැවී යාම මේ දක්වා තරගාවලියේ වාර්තා වූ අවම කණ්ඩායම් ලකුණු ප්‍රමාණයයි.
තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වන්නේ මුම්බායි කණ්ඩායම ලසිත් මාලිංගයි. ඔහු තරග 83කට ක්‍රීඩා කර කඩුලු 119ක් බිඳහෙළීමට සමත්වී තිබේ. ලකුණු 13ට කඩුලු පහක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීමයි.
තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වන්නේ චෙන්නායි කණ්ඩායමේ සුරේෂ් රයිනායි. ඔහු තරග 115කදී ලකුණු 3325ක් රැස්කරගෙන තිබේ. හොඳම තනි ඉනිමට හිමිකම් කියන ක්‍රිස් ගේල් පූනේ කණ්ඩායමට එරෙහිව 2013 වසරේදී නොදැවී ලකුණු 175 ක් රැස්කිරීමට සමත්විය. ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 66ක් පමණි. හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කියන පාකිස්තානයේ සොහෙල් තන්වීර් 2008 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ලකුණු 14ට කඩුලු 6ක් දවා ගැනීමට සමත්විය.
තරගාවලිය මැයි මස 24දා තෙක් පැවැත්වෙන අතර ඒ සඳහා තරග 60ක් ඇතුළත් වෙයි. ක්‍රීඩාංගණ 12කදී තරග පැවැත්වෙන අතර අවසන් මහ තරගය කොල්කාටා ඊඩ්න් ගාඩ්න් පිටියේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.