තරග 03 කින් යුත් විස්සයි20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී තරගාවලි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් තරග 05 කින් යුත් එක්දින තරගාවලියට හෙට (28දා) සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය හෙට (28දා) පෝට් එළිසබත්හිදී ආරම්භවීමට නියමිත අතර, විස්සයි20 තරගාවලියේදී විවේක ගැන්වූ දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ සියලුදෙනා මෙම තරගයට සහභාගිවීමේ අපේක්ෂාවෙන් පසුවෙති.
වේගපන්දු යවන්නන්ට උචිත පෝට් එළිසබෙත් තණතීරුව සඳහා දකුණු අප්‍රිකානුවන් විශේෂඥ වේගපන්දු යවන්නන් 05 දෙනෙකුම (කාගිසෝ රබාඩා, වේන් පාර්නෙල්, ලුන්ගි න්ගිඩි, ක්‍රිස් මොරිස් හා අන්ඩිලේ ෆෙලුක්වායෝ) කණ්ඩායමට කැඳවා ඇති අතර, ආබාධයෙන් අනතුරුව නායකත්වය භාරගනිමින් ඒ.බී. ඩිවිලියර්ස්ද කණ්ඩායමට එක්ව සිටියි.
ශ්‍රී ලංකා සංචිතයට අවධානය යොමු කිරීමේදී නවක මුහුණු 03 ක් (සඳුන් වීරක්කොඩි, තික්ෂිල ද සිල්වා, ළහිරු මධුසංක) දැකගත හැකි අතර, දකුණු අප්‍රිකාව හා සැසඳීමේදී අත්දැකීම් අඩු කණ්ඩායමක් වුවද, තරගයක් දිය හැකි තරුණ කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි විස්සයි20 තරගයේදී ආබාධයකට ලක්වීම හා පෞද්ගලික කාරණාවක් හේතු කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති නිසා පසුගිය සිම්බාබ්වේ සංචාරයට නායකත්වය ලබාදුන් උපුල් තරංග දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේද නායකයා ලෙස කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකා සංචිතය- උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා, තික්ෂිල ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ළහිරු මධුසංක, කුසල් මෙන්ඩිස්, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, සඳුන් වීරක්කොඩි
දකුණු අප්‍රිකානු සංචිතය - ඒ.බී.ඩිවිලියර්ස් (නායක), හෂීම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඩීන්, ක්වින්ටන් ඩී කොක්, ජේ.පී.ඩුමිනි, ෆෆ් ඩු ප්ලෙසිස්, ඉම්රාන් තාහීර්, ඩේවිඩ් මිලර්, ක්‍රිස් මොරිස්, ලුන්ගි න්ගිඩි, වේන් පාර්නෙල්, අන්ඩිලේ ෆෙලුක්වායෝ, ඩ්වේන් ප්‍රිටෝරියස්, කාගිසෝ රබාඩා, ටබ්රේස් ෂම්සි
චම්පික ප්‍රනාන්දු (පෝට් එළිසබත් හි සිට)