ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර සිකුරාදා (නොවැම්බර් 24 දා) නාග්පූර්හි විඩාර්භා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ තරගයේදී ඉන්දීය දඟ පන්දු යවන්නන් වන ආර්. අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා සාර්ථක වීමට සමත්වූහ. ඒ කොල්කටා තරගයේදී ඔවුන්ට සාර්ථකවීමට නොහැකිවූ තත්ත්වයක් පසුබිමේය.
තරගයේ දෙවැනි සැසියේදී පන්දුව දඟ කැවීමක් සහිතව ඉපුලුණි. ඒ අනුව දඟ පන්දු යවන්නන් දෙදෙනා පීඩනය නිර්මාණය කළ අතර එම පීඩනය තවදුරටත් තීව්ර කිරිමට උමේෂ් යාදව් හා ඉෂාන්ත ශර්මා සමත්වූහ. දඟ පන්දු යවන්නන් දෙදෙනා අතර බෙදී ගිය කඩුලු සංඛ්‍යාව හතකි.
ඉන්දීය කණ්ඩායම පළිතුරු ඉනිම ක්‍රීඩා කරන විට ඔවුන්ගේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ළහිරු ගමගේගේ පන්දුවක් හමුවේ ලකුණු 7 කට දැවී ගියේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පළමු දිනයේදී පන්දුවාර 8ක් ක්‍රීඩා කරමින් ලකුණු 11/1ක් ලෙස ඉනිම අවසන් කළේය. ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 194ක් පසුපසින් සිටියි. පුජාරා හා විජේ ලකුණු 2 බැගින් රැස්කරමින් පිටියේ රැඳී සිටිති.
පළමු දිනයේදී වැඩි ගෞරවය ඉන්දීය කණඩායමටය. ඔවුන් පන්දුවෙන් උපරිම දක්ෂතා දැක්වීය. නමුත් එහිදී බලාපොරොත්තු නොව දැවි යාම් පහක්ද වාර්තා විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තම උපරිමයෙන් ක්‍රීඩා නොකළේය.
ඉන්දීය පන්දු යැවීම තරු පන්දු යැවීමකි. භුවනේෂ්වර් කුමාර් වෙනුවට කණ්ඩායමට කැඳවූ ඉෂාන්ත් ශර්මා පන්දුවාර 14කදී ලකුණු 37ට කඩුලු තුනක් දවාගත්තේය. උමේෂ් කඩුලු නොලැබූ පන්දුවාර 16ක් යොමුකළේය. ඔහු ලකුණු 47ක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නේය. පන්දුවාර 28.1කදී ලකුණු 67ට අශ්වින් කඩුලු හතරක් දවා ගත්තේය. පන්දුවාර 21කදී ලකුණු 56ට කඩුලු තුනක් දවා ගැනීමට ජඩේජා සමත්විය.
නායක දිනේෂ් චන්දිමාල්ගේ හා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ අර්ධ ශතක ශ්‍රී ලංකා ඉනිමේ වැඩි බරක් ඇද්දේය.