පාකිස්තාන කණ්ඩායම හා පැවැති සිවුවැනි තරගය මෙන්ම තරගාවලිය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ තුනේම දුර්වලතාව හොඳින් බලපෑ බවත්, ලෝකයේ හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක් බවට පත්වීමට නම් එම අංශ තුනේම දියුණුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු සඳහන් කළේය.
පාකිස්තාන කණ්ඩායම හා පැවැති සිවුවැනි එක්දින තරගය පරාජය වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (22දා) රාත්‍රියේ ඔහු මෙම අදහස් දැක්වීය.
"කණ්ඩායමක් විදියට අපේ පිතිකරණයේ, පන්දු රැකීමේ හා පන්දු යැවීම යන අංශ තුනේම දුර්වලතා නිසයි අපිට පරාජයවීමට වුණේ. මේ අංශ තුනෙන්ම පාකිස්තානය හොඳින් තරග කළා. ලෝකයේ ක්‍රිකට්වල තැනකට එන්න මේ අංශ තුනෙන්ම අපි දියුණුවක් ලබන්න ඕන. අපි හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළේ නෑ. පන්දු රැකීම ගැන වැඩි අවධානයක් යොමුකරන්න වෙනවා.
අපි මාලිංගගෙන් බලාපොරොත්තුවූ දේ ලැබුණේ නෑ. එක් තරගාවලිය පරාජය වීමට බලපාපු ප්‍රධාන හේතුවක්. ආරම්භක කඩුල්ලෙන් අපට ලකුණු ලැබුණේ නෑ. වැරැදි වෙලාවක කඩුලු බිඳවැටුණා. ආරම්භක පිතිකරුවන්ගෙන් අපිට සහාය ලැබුණේ නෑ"
සංගා හා මහේලගේ සේවය කණ්ඩායම ඉටුකිරීම තරුණ ක්‍රීඩකයන්ගේ වගකීම බවත්, සිය මංගල තරගාවලියට ක්‍රීඩා කළ සචිත් පතිරණ හා මිලින්ද සිරිවර්ධන දක්ෂ ක්‍රීඩකයන් බවට පරිවර්තනය වීමේ හැකියාවන් පෙන්වූ බව පැවසූ මාවන්, පාකිස්තාන පිතිකරුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නාට ඉදිරියට ඇවිත් පහරදීම තරගාවලියේ පරාජයට හේතුවක් වූ බව සඳහන් කළේය.
"ඇන්ජලෝ දැන් පළපුරුදු නායකයෙක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ වගේ දැනුමැති ක්‍රීඩකයන් (සංගා හා මහේල) කණ්ඩායමට අහිමිවීම පාඩුවක්. ආරම්භයේදී අපිට එය අපහසුවක්. අනෙකුත් තරුණ ක්‍රීඩකයන් වගකීම් ගන්න වෙනවා.
අපි හොඳ විකට්ටුවක ක්‍රීඩා කරන්නේ. එවැනි තත්ත්වයක කඩුල්ලක් ලබාගැනීමට හොඳ දක්ෂතාවක් තිබෙන්න ඕන. ඔවුන් දෙදෙනාට (සචිත් හා මිලින්ද) හොඳ දක්ෂතා තිබෙනවා. පන්දුවට පහරදීමේ දී ඔවුන් දක්ෂතා දක්වනවා. ඔවුන් ඔවුන්ගේ වයසට පරිණත වෙලා ඉන්නේ. තව තරග කිහිපයක් මේ ආකාරයකින් යන විට ඔවුන් වටිනා ක්‍රීඩකයන් බවට පත්වේවි" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.