සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග තුනකින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක පරාජයක් සමගින් අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (16දා) අයර්ලන්තයේ ඩබ්ලින්හිදී අයර්ලන්ත එක්දින කණ්ඩායම සමගින් තරග වදියි. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය අයර්ලන්තයට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමටද එක සේ වැදගත්ය.
පළමු වරට සුපිරි තරගාවලියක් ලෙසින් පැවැත්වෙන එංගලන්ත - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ටෙස්ට් තරගාවලිය අවසන් වනවිට එංගලන්තය පෙරමුණගෙන සිටින අතර, අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරග දෙකට පසුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට මුහුණ දීමට සිදුවේ. එමනිසා ටෙස්ට් තරගාවලියේ සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන කණ්ඩායමක් ලෙස එක්ව නැගිටීමට, අයර්ලන්තය සමග පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වනවා සේම, ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අයර්ලන්ත කණ්ඩායමටද මෙම තරගාවලිය වැදගත්ය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඉදිරිපත් කරමින් සිටින අඩු දක්ෂතා හේතුවෙන් මෙම තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වන ලකුණු පෙනෙන්නට තිබේ. එහෙත් කණ්ඩායමක් ලෙසින් එක්ව තම අභිමානය රැකගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් සිය ආධිපත්‍ය පතුරනු ඇතැයි අපගේ විශ්වාසයයි.
කලකට පසුව ෆර්විස් මහරුෆ්, උපුල් තරංග සහ සුරාජ් රන්දිව් එක්දින කණ්ඩායම සමගින් එක්ව සිටිති. ඔවුන්ට අමතරව සීක්කුගේ ප්‍රසන්න සහ ධනුෂ්ක ගුණතිලකටද එක්දින සංචිතයේ ස්ථානයන් වෙන්කරගෙන ඇත. ඒ අනුව මිලින්ද සිරිවර්ධන, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ ඩිල්රුවන් පෙරේරාට එක්දින කණ්ඩායමේ ස්ථාන අහිමිව ඇත. තවද රංගන හේරත් එක්දින තරග රටාවෙන් සමුගත් බැවින් ඔහුද, පෞද්ගලික හේතුවක් මත ඩිල්ෂාන්ද මෙම තරග සංචාරයෙන් ඉවත් වූ බැවින් එක්දින කණ්ඩායමට ඇතුළත්ව නොමැත.
මහරුෆ්, තරංග, රන්දිව්, ප්‍රසන්න සහ ධනුෂ්ක සිය දක්ෂතා හේතුවෙන් එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට නැවත වරක් අවස්ථාව හිමිකර ගෙන ඇති හෙයින් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන ප්රමුඛ පෙළ තරගවලදී මෙන්ම ජාත්‍යන්තර තරගවලදීද දක්ෂතා දැක්වීමට මෙම ක්‍රීඩකයන් උත්සාහ කළ යුතුය. අවස්ථාව හිමිවූ පසු සිය හැකියාවන් ඉදිරිපත් කිරීම ක්‍රීඩකයන්ගේ වගකීමයි. එහෙයින් තේරීම් කමිටුවද අපහසුතාවට පත් නොකර, මෙම ක්‍රීඩකයන් සිය හැකියාවන් උපරිම මට්ටමෙන් ඉදිරිපත් කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. ළහිරුට මෙන් මෙම ක්‍රීඩකයන්ට අඛණ්ඩව අවස්ථාව හිමි නොවන බැවින් සිය ස්ථානය රැකගැනීමට දක්ෂතා දැක්වීම අනිවාර්ය සාධකයකි. කෙසේ වෙතත් එක්දින තරගාවලිය සඳහා හෝ දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තේරීම් කමිටුව අගය කළ යුතුය.
එංගලන්ත සහ අයර්ලන්ත තණතිලි මහරුෆ්ට ඉතාමත් යෝග්‍ය බැවින් මහරුෆ් මෙම තරගාවලියේදී උපරිම දක්ෂතා දක්වනු ඇතැයි අපගේ විශ්වාසයයි. මහරුෆ්ට අමතරව පන්දු යවන්නන් ලෙසින් ප්‍රසන්න සහ රන්දිව්ද අවසන් 11 දෙනා අතරට ඇතුළුවීමට වැඩි අවස්ථාවක් පවතියි. ඔවුන්ට අමතරව ලක්මාල්, ප්‍රදීප් සහ ශමින්ද යන වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් දෙදෙනෙකු අද තරගයට ක්‍රීඩා කරනු ඇත. බොහෝවිට ලක්මාල් සහ ප්‍රදීප්ට එම අවස්ථාව හිමිවනු ඇතැයි විශ්වාස කළ හැකිය. තවද යම් හෙයකින් ධනුෂ්ක අවසන් 11 දෙනා අතරට ඇතුළත් වුවහොත් මැතිව්ස් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය තව තවත් ශක්තිමත් වනු ඇත.
කණ්ඩායම් සංයුතිය සකසා ගැනීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම යම් ගැටලුවකට මුහුණ පා ඇති තත්ත්වයක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම පිතිකරණ සංයුතිය සකසා ගැනීමේ එය වඩාත් ප්රබලව පෙනෙන්නට තිබේ. තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කුසල් ජනිත් පෙරේරා දියත් කළ ඉනිම හේතුවෙන් අද තරගයේ දී ඔහුට ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවීමට වැඩි ඉඩක් පවති. කුසල්ට එම අවස්ථාව හිමිවන්නේ නම් එහි වරදක් නොපෙනේ. ගැටලුව ඇත්තේ කුසල්ගේ සහායකයා කවුරුන්ද යන්නයි.
ඒ සඳහා ධනුෂ්ක ගුණතිලක සහ උපුල් තරංග අතර තරගයක් නිර්මාණය වී ඇති බවක් පෙනේ. බොහෝදුරට එම අවස්ථාව ධනුෂ්කට හිමිවනු ඇත. කෙසේ වෙතත් ළහිරු තිරිමාන්න පසුපෙළ පිතිකරුවෙකු ලෙස යොදා ගනිමින් උපුල් තරංග අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීමටද අවස්ථාවක් නැතුවාම නොවේ. තවද ධනංජය සිල්වා, කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානකද කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් අත පොවන මානයේ සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති. ඩිල්ෂාන්, කපුගෙදර, තිසර, කුලසේකර සහ චමීර මෙවර තරගාවලියට එක්ව නොමැති බැවින් එම ස්ථානයන් සඳහා නවක ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් පවතී.
ශ්‍රී ලංකා - අයර්ලන්ත පළමු එක්දින තරගය අද (16දා) ප.ව. 6.15ට (මෙරට වේලාවෙන්) ආරම්භ වේ.