පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන්නා වන සහිඩ් අජ්මාල් ලෝක කුසලානය සඳහා නම්කළ පාකිස්තානු ක්‍රිකට් සංචිතයෙන් ඉවත් වී ඇත.
සිය පන්දුයැවීමේ ඉරියව්ව තවදුරටත් නිවැරදි කරගැනීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීම සඳහා අජ්මාල් මෙම තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂර්යාර් ඛාන් පැවසුවේ, අජ්මාල්ගේ පන්දුයැවීම පිළිබඳව අවදානමක් තමන්ට ගත නොහැකි බවයි.
අජ්මාල් මීට පෙර 30 දෙනෙකුගෙන් යුත් ලෝක කුසලානය සඳහා නම්කළ පාකිස්තානු සංචිතයට ඇතුළත්වී තිබිණ. කෙසේ වෙතත් මේ සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කිරීමට නියමිතව ඇත්තේ එළැඹෙන ජනවාරි 07 වැනිදාය.
අජ්මාල්ගේ පන්දුයැවීම පිළිබඳව මීට පෙර කරන ලද පරීක්ෂණවලදී හෙළි වුයේ ඔහුගේ සාමාන්‍ය දඟපන්දු හා වේගය වැඩිකරමින් එවන පන්දුව අන්තර්ජාතිකව පිළිගත් වැළමිටේ අංශක 15 සීමාව අනුගමනය කරන බවත්, දුෂ්රා පන්දුවේදී පමණක් එම සීමාව ඉක්මවා අත දිගහැරෙන බවත්ය.