ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන කොන්ත්‍රාත් සේවකයන් 88 දෙනෙකු මෙම සතියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පළාත්වලට අනුයුක්ත කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇතැයි 'අදට' වාර්තා වේ.මෙහිදී මෙම සේවකයන් පළාත්වලට අනුයුක්ත කිරීමේදී ඔවුන්ගේ වරප්‍රසාද හා දීමනා කප්පාද්රවක් සිදුවන අතර සමහර සේවකයන්ට එම වරප්‍රසාද හා දීමනා අහිමි කර තිබේ.
මෙය වඩාත් බරපතළ ලෙස බලපා ඇත්තේ වසර ගණනාවක් (වසර 10කට වඩා) ක්‍රිකට් ආයතනයේ සේවය කළ සේවකයන්ටයි. ඔවුන්ට මෙමගින් බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි සේවකයෝ චෝදනා කරති. කෙසේ වෙතත් වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා 1999 වසරේදීද මෙය (පළාත්වලට සේවකයන් අනුයුක්ත කිරීම) ක්‍රියාත්මක කළ අතර, ඔහුගෙන් පසුව 2001 වසරේදී ක්‍රිකට් අතුරු කමිටු ප්‍රධානියා ලෙස වැඩ භාරගත් විජය මලලසේකර මහතා එය නවතා දැමුවේ පළාත්වලට අනුයුක්ත කිරීමෙන් මුල්‍ය වංචා හා වෙනත් අක්‍රමිකතා රාශියක් සිදුවන බව පවසමිනි.
එහෙත් යළිත් වරක් වත්මන් ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු පරිපාලනය පළාත්වලට සේවකයන් අනුයුක්ත කිරීමට තීරණය කර ඇත්තේ මහසභා රැස්වීමක (AGM) අනුමැතියක් හෝ MOU ගිවිසුමක්වත් නොමැතිවයි. මෙමගින් සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ අරාජික තත්ත්වයක් නිර්මාණය වීමයි. පළාත්වලට අනුයුක්ත කරන සේවකයන් සඳහා ක්‍රිකට් ආයතනයෙන් (පසුගිය පරිපාලනයන්ගෙන්) සේවක ගිවිසුම් සඳහා ලිඛිත ලියවිලි (Employee Letter) මීට පෙර ලබාදී ඇති අතර, පසුගිය වසරේ 31 වැනිදායින් එය අවසන් වීම මත මෙම ගැටලුව නිර්මාණය වී තිබේ.
කෙසේ වෙතත් පළාත්වලට ක්‍රිකට් සේවකයන් අනුයුක්ත කිරීම තුළ පළාත් ක්‍රිකට් බලධාරීන් දූෂණ, වංචා කිරීමේ වැඩි ප්‍රවණතාවක් මතුව තිබේ. මේ පිළිබඳව ඉතිහාසය (දකුණු පළාත් ක්‍රිකට් සංගමය) පිරික්සීමේදී ඕනෑතරම් උදාහරණ සපයාගත හැකිය.
මීට පෙර මධ්‍යම පළාතේ සහය පරිපාලන නිලධාරී ලෙස කටයුතු කළ හේමාල් නම් පුද්ගලයා පළාත් ක්‍රිකට්වලට අනුයුක්ත කිරීම මත සේවය අහිමිව වසර 04ක් ශ්‍රී ලංකා ක්‍රිකට් හා නඩු කියා ඔහුගේ සේවය සුරක්ෂිත කරගැනීමද මෙහිදී පෙන්වා දිය යුතුය. මෙහිදී සිදුවන්නේ පළාත්වලට අනුයුක්ත කිරීම මත ඔවුන්ගේ සේවා සුරක්ෂිත භාවය අහිමි වීමයි. ඒ පළාත්වලට අනුයුක්ත කිරීම නිසි ක්‍රමවේදයට ක්‍රියාත්මක නොවීම හේතුවෙනි.
එ්නිසා ක්‍රිකට් විධායක කමිටුවට (EXCO) වැනි බරපතළ කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් නොමැති බවද එය සිදුවිය යුත්තේ මහ සභාවක අනුමැතියක් (AGM) හෝ MOU ගිවිසුමක් මගින් බව මතක් කරදීමට කැමැත්තෙමු. කෙසේ වෙතත් සේවකයන්ට වන අසාධාරණ ඉවසාගත නොහැකිව ක්‍රිකට් උපසභාපතිවරයෙක් පසුගියදා පැවති විධායක කමිටුවෙන් නැගිටගොස් ඇත්තේ තවදුරටත් මෙවැනි අකටයුතුකම් වනවානම් තමන් දරන ධුරයෙන් අස්වෙනවා යැයි පවසමිනි.
පළාත් ක්‍රිකට්වලට අනුයුක්ත කිරීමේදී ජාතික තණතීරු සකසන්නාගේ සිට සමහර සේවකයන් ඉවත් කිරීමේ සැලසුමක්ද ඇති බව මේ වනවිට හෙළිව තිබේ. විශේෂයෙන් කළමනාකරුවනන්ගේ සහාය කළමනාකරුවන්, තණතීරු බාර පුද්ගලයන් හා ක්‍රීඩාංගණ සේවකයන්ගේ සේවය මේ වනවිට සුරක්ෂිතව නොමැති අතර මෙමගින් පළාත් ක්‍රිකට් කඩාවැටීමේ ගැටලුවකට ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණදෙනු ඇතැයි සේවකයෝ පවසති.
එ්නිසා සේවකයන්ගේ සේවය පිළිබඳව වන මෙම අඳෝනාවට ඇහුම්කන් නොදී ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පාලනය කටයුතු කරන්නේ නම් ඔවුන්ගේද සේවාකාලය කෙටිවනවා හැරෙන්නට දීර්ඝ නොවනු ඇත. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඔවුන්ටද ඉතා ඉක්මනට් ගෙදර යාමට සිදුවනු ඇත.