දේශීය කෙළිබිමේ තවත් සුවිශේෂී මතක සටහන් රැසක් ඉතිහාසයට එක්කරමින් 2014 වසර ඊයේ (31දා) අවසන් විය. කෙසේ නමුත් ගෙවීගිය වසර තුළදී ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට ඉහවහා ගිය සතුටුදායක සිදුවීම් මෙන්ම දරාගත නොහැකි හැඟීම්බර සිදුවීම් කිහිපයට මුහුණුදීමට සිදුවිය. ශ්‍රී ලංකාව විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම, මහේල ජයවර්ධන ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමත් ප්‍රධාන තැනක් ගත්හ. ගෙවීගිය වසරේ ක්‍රීඩා පිටියේ සිදු වූ සුවිශේෂී සන්දිස්ථාන කිහිපයක ආවර්ජනයකි මේ.
විස්සයි20 ලෝක ශූරයෝ
දෙවතාවක් අබියසටම පැමිණ අහිමිව ගිය විස්සයි20 ලෝක ක්‍රිකට් කිරුළ සිහිනය තුන්වැනි වතාවේදී සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය අප්‍රේල් මාසයේ බංග්ලාදේශයේදී සමත්විය. ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට මෙම ජයග්‍රහණය වඩාත් ආස්වාදජනක වූයේ ඉන්දීය කණ්ඩායම පරාජය කර මෙය ජයග්‍රහණය අත්කරගැනීමයි. කෙසේ නමුත් මෙම තරගාවලියෙන් අනතුරුව කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන විස්සයි20 තරග බිමට සමුදුන් අතර, මහේල ජයවර්ධන අගෝස්තු මස පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන්ද සමුගත්තේය.
ටෙස්ට්
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර තුළදී ටෙස්ට් තරග 12කට ක්‍රීඩාකර ඇති අතර, ඉන් තරග 05 ක් ජයගෙන, තරග 03ක් පරාජයවී, ඉතිරි තරග 04 ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. එහි තරග ජයගැනීමේ සාමාන්‍යය 41.66 ක් වේ. ජනවාරි මස බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 730/6 ක් රැස්කර ඉනිම අත්හිටුවීම පසුගිය වසරේ ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් ක්‍රීඩාකළ දීර්ඝතම ඉනිම විය.
පසුගිය වසරේ වැඩිම ටෙස්ට් ලකුණු රැස්කර ඉදිරියෙන්ම සිටින පිතිකරුවන් දෙදෙනා කුමාර් සංගක්කාර (1493) හා ඇන්ජලෝ මැතිව්ස් (1317) වේ. ඊට අමතරව කුමාර් සංගක්කාර පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකය බංග්ලාදේශයට එරෙහිව වාර්තා කිරීමට සමත් වූ අතර, එය පසුගිය වසරේ පිතිකරුවෙකු ක්‍රීඩා කළ ඉහළම ඉනිම විය. කඩුලු 60 ක් බිඳහෙළා ඇති රංගන හේරත් 2014 වසරේ වැඩිම කඩුලුලාභියා වූ අතර, ඔහු පාකිස්තානයට එරෙහිව 127/9 ලෙස කඩුලු දවාලීම එම වසරේ පන්දු යවන්නෙකු දැක්වූ හොඳම පන්දු යැවීමේ දක්ෂතාව විය.
එක්දින
එක්දින තරග 32කට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ සහභාගී වී ඇත. ඉන් තරග 20 ක් ජයගෙන ඇති අතර, තරග 12 ක් පරාජය වී ඇත. එහි තරග ජයගැනීමේ සාමාන්‍යය 62.50 ක් වේ. කුමාර් සංගක්කාර (1256) හා ඇන්ජලෝ මැතිව්ස් (1244) දෙදෙනා පසුගිය වසරේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් දෙදෙනා වෙති. ඊට අමතරව අජන්ත මෙන්ඩිස් (38) මෙම වසරේ වැඩිම කඩුලුලාභියා වෙයි.
විස්සයි20
විස්සයි20 පිටිය තුළින් නව වසරට අභිමානවත්ව පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක එකෙහි පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම, පසුගිය වසරේ වැඩිම තරග ජයගැනීමේ සාමාන්‍යයක් (88.88) පවත්වාගෙන ඇති කණ්ඩායමද වෙයි. තරග 09කට මුහුණදී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණි.
ශ්‍රී ලංකා අභිමානය රැකගත් සුදේෂ් පීරිස්
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර අගොස්තු මස පැවැති 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවේ සියලු ගෞරව සීමාවූයේ රිදී පදක්කමකට පමණි. ඒ හේතුවෙන් රටවල් 71 ක් අතරින් 29 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. බර ඉසිලීමේ ක්‍රීඩක සුදේශ් පිරීස් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීම හැරෙන්නට වෙනත් කිසිදු අයෙකුට ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් ජයග්‍රහණය කළ නොහැකි විය.
සුපුරුදු පරිදි ජනාධිපති ශූරතාව බස්නාහිරට
40 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ ඔක්තෝබර් මස අනුරාධපුරයේදී නිමාවට පත්වූයේ සුපුරුදු පරිදි බස්නාහිර පළාත සමස්ත ශූරතාව දිනාගනිමිනි. මෙහි අනුශූරතාව මධ්‍යම පළාතට හිමි වූ අතර, තෙවැනි ස්ථානය වයඹ පළාතට හිමිවිය. උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, මලල ක්‍රීඩිකා චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් මෙවර සම්මාන ලැබූහ.
ජාතික ශූරයන් අබිබවා ගිය පාසල් ශූරයෝ
68 වැනි ජාතික මේසපන්දු ශූරතාවලිය නොවැම්බර් මස කොළඔ සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරයේදී නිමාවට පත්වූයේ රොහාන් සිරිසේන හා ඉෂාරා මධුරංගි දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමි කරගනිමිනි. කෙසේ නමුත් මෙහි අවධානයට ලක්වූ කරුණ වූයේ දක්ෂතමයන් ලෙස සම්මාන ලැබූ ඔවුන් දෙදෙනා කේවල තරගවලදී පාසල් ක්‍රීඩකයන් හමුවේ පරාජය වීමයි. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුසවිතාන (කාන්තා) හා මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ (පිරිමි) මෙම තරගාවලියේ කේවල ශූරතා හිමිකරගත්හ.
ආසියානු ක්‍රීඩා උලෙළ
දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී පැවැති ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එම ඉසව්වේ රන් පදක්කමද, කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනාගත් අතර, එය ශ්‍රී ලංකාව ඉදිරියේ මෙම ක්‍රීඩා උලෙළේ සටහන් වූ එකම පදක්කම් දෙක විය. ඒ හේතුවෙන් රටවල් 45 අතරින් ශ්‍රී ලංකාවට 26 වැනි ස්ථානය හිමිවිය.
මෙම තරගාවලියෙන් අනතුරුව ඉන්චියොන්හි දෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උලෙළද පැවැති අතර, එහි රටවල් 45 ක් අතරින් ශ්‍රී ලංකාවට 19 වැනි ස්ථානය හිමිවිය. මෙහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් 06 ක් හා ලෝකඩ පදක්කම් 07 ක් සමගින් සමස්ත පදක්කම් 14 ක් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.
දස වසරකට පසු මහනුවර අබිබවා ගිය යුද හමුදාව
දස වසරකට පසු ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කිරීමට යුද හමුදා රග්බි කණ්ඩායම පසුගිය නොවැම්බර් මසදී සමත්විය. ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ තරගයකදී යුද හමුදා කණ්ඩායම හමුවේ ලකුණු 21-13 ක් ලෙස මහනුවර කණ්ඩායම පරාජය විය. දේශීය රග්බි තරග බිමේ පතාක යෝධයන් වන මහනුවර කණ්ඩායම අවසන් වරට යුද හමුදා කණ්ඩායම හමුවේ පරාජය වී ඇත්තේ 2004 වසරේදීය.
ඉතිහාසයට එක්වූ හර්ෂණ තිලකරත්න
බ්‍රසීලයේ පැවැති 10 වැනි ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 11 පහළ බාලක ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ ජී.එම්. හර්ෂණ තිලකරත්න සමත්විය. ලොව රටවල් 27 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අබිබවමින් ඔහු මෙම දක්ෂතාව දැක්වූ අතර, ලෝක ශූරතා චෙස් තරගාවලියක රන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා ලෙස ඔහු මෙරට චෙස් ක්‍රීඩා ඉතිහාසයට එක්විය. ඔහුට අමතරව තායිවානයේ පැවැති ආසියානු පාසල් චෙස් තරගාවලියේ වයස 13 පහළ අංශයේ රන් පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකාවේ පළමු පාසල් ෆිඩේ මාස්ටර්වීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්. සසින් නිපුන් පියුමන්ත සමත්විය.
නිලූක ජයග්‍රහණයේ හිණිපෙත්තට
62 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය පසුගිය ඔක්තෝබර් මස නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූයේ 14 වැනි වරටත් ජාතික ශූරයා ලෙස නිලූක කරුණාරත්න සම්මාන හිමිකරගනිමිනි. කොළඹ විශාකා විද්‍යාලයේ තිළිණි හෙන්දහේවා මෙහි ජාතික ශූරිය ලෙස සම්මාන දිනාගත්තාය. මෙම තරගාවලියට අමතරව ජුනි මස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ජාතික බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළේය. නමුත් සත්කාරයේ තරමට එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ප්‍රතිඵල නොලැබුණු අතර, දිනූක කරුණාරත්න පමණක් එහි ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.
ඉතිහාසයට එක්වූ ජීවිතාරක්ෂක පදක්කමක්
සැප්තැම්බර් මස ප්‍රංශයේ පැවැති ලෝක ජීවිතාරක්ෂක තරගාවලියේ මීටර 90x4 වෙරළ සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. රටවල් 80 ක් අබිබවමින් ශ්‍රී ලංකාව මෙම පදක්කම දිනාගත් අතර, එය ලෝක ශූරතාවලියකදී ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක කණ්ඩායමක් පදක්කමක් දිනූ පළමු අවස්ථාව විය.
කායවර්ධනයෙන් ලොවෙන්ම තෙවැනියා සුභාෂ්
නොවැම්බර් මස බ්‍රසීලයේ බ්‍රසීලියාහි පැවැති 68 වැනි ලෝක කායවර්ධන ශූරතාවලියේ කිලෝග්‍රෑම් 65 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සුභාෂ් සිරිවර්ධන සමත්විය. මෙම තරගාවලියට පෙර ජුනි මස 48 වැනි ආසියානු කායවර්ධන ශූරතාවලිය කොළඹදී පැවැති අතර, එහි රන් පදක්කම් 04 සමගින් සමස්ත පදක්කම් අටක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එය ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩා ඉතිහාසයේ අත්කරගත් ඉහළම ජයග්‍රහණය විය.