2014 පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා අද (03දා) ඩකාහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බ.ඉ.කොදෙව් කණ්ඩායම තරග වැදීමට නියමිතය. 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැති පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් ලෝක ශූරතාව හිමිකර ගැනීමට කොදෙව්වෝ සමත්වූහ.
එහෙයින් අද පැවැත්වෙන පළමු අර්ධ අවසන් තරගයේදී කොදෙව්වන් පරාජයට පත්කරමින් 2012 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පරාජයේ වාඩුව ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාව ඇත.
කොදෙව්වන් අර්ධ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීම අහම්බයක් නම් නොවේ. තරගාවලිය ආරම්භයේ දීම අප සඳහන් කළ පරිදිම ක්‍රිස් ගේල් සහ ඩැරන් සාමි බ.ඉ.කොදෙව් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා අතරට පැමිණීමට සමත්විය. එමෙන්ම ඔවුන්ගේ පන්දු යවන්නනෝද තරගාවලියේ ආරම්භයේ සිටම දක්ෂතා අතරට පැමිණීමට අවස්ථාව උදාකර ගත්හ.
අවසන් පන්දුවාර කිහිපයේ දී ඩැරන් සාමිගේ වේගවත් පිතිහරඹය අද තරගයේදීද තීරණාත්මක සාධකයකි. සාමි සිය විශිෂ්ට පිතිහරඹය දියත් කරමින් මෙවර තරගාවලියේදී අවස්ථා කිහිපයකදීම තීරණාත්මක ඉනිම් කිහිපයක් තම කණ්ඩායම වෙනුවෙන් දියත් කිරීමට සමත්විය. එහෙයින් සාමි පාලනය කිරීමට සැලැස්මක් අවශ්‍යය. සාමිට පන්දුවට පහරදීමට අවස්ථාව හිමිවන වේලාව අනුව ඔහුගේ පිතිහරඹ රටාව වෙනස්වේ. විශේෂයෙන්ම අවසන් පන්දුවාර තුනක් හෝ හතරක් ඇතුළත ඔහු පන්දුවට පහරදීමට පැමිණියහොත් පිටියට පැමිණි විගසම සිය ආක්‍රමණය දියත් කරනු ඇත.
එමෙන්ම ඩ්වේන් ස්මිත්, මාලන් සැමුවෙල්, ලින්ඩ්ල් සිමන්ස් සහ ඩ්වේන් බ්රාවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කරන පිතිකරුවන්ය. ඒ අතරින් අද තරගයේදී ඩ්වේන් ස්මිත් සහ මාලන් සැමුවෙල් ලකුණු අතරට පැමිණීමට වැඩි ඉඩකඩක් පවතියි.
මෙවර තරගාවලියේ දී බ.ඉ.කොදෙව් කණ්ඩායම මුහුණ දුන් අවසන් තරග කිහිපයේදී ලකුණු අතරට පැමිණීමට ක්‍රිස් ගේල්ට අවස්ථාවක් හිමිනොවුණද කොයි මොහොතක හෝ ගේල් ලකුණු අතරට පැමිණෙනු ඇත. ගේල්ට එම අවස්ථාව අද තරගයේදී උදාවුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයකි. එහෙයින් ගේල්ව පාලනය කරගැනීමට නුවන් කුලසේකරගෙන් වැඩි යමක් අවශ්‍යය.
නියමිත කාල වේලාවේදී පන්දුවාර සංඛ්‍යාව යෑමට අපොහොසත්වීම නිසා එක් තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් නවසීලන්තය සමග පැවැති තරගය ක්‍රීඩා නොකළද අද තරගයේ දී කණ්ඩායම මෙහෙයවන බැවින් ළහිරු තිරිමාන්නට හෝ තිසර පෙරේරාට අද සිය ස්ථානය අහිමිවීමට වැඩි ඉඩක් පවතියි. කෙසේ වෙතත් තරගාවලිය පුරාවටම තිසරගෙන් සැලකිය යුතු යමක් නොවූ බැවින් මෙන්ම, යම් හෙයකින් ඉදිරිපෙළ පිතිකරුවන් කිහිප දෙනෙකුම එකළඟ එක දැවීගියහොත් එම අවස්ථාවේදී ඉනිම ගොඩනැගීම සඳහා ළහිරු තිරිමාන්න කණ්ඩායමේ සිටීම වඩා වැදගත්ය. එහෙයින් අද තරගයට ක්‍රීඩා කිරීමට ළහිරුට වැඩි අවස්ථාවක් ඇත. කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන්ගෙන්ද මේ දක්වා කණ්ඩායමට විශාල සහායක් නොලැබිණි. එහෙයින් ඔහුගේ ස්ථානය සම්බන්ධයෙන්ද ගැටලුවක් පවතියි. එහෙත් අර්ධ අවසන් තරගයකදී අත්දැකීම්ද වැදගත් බැවින් ඩිල්ෂාන් අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංගක්කාර මේ දක්වා සාර්ථක නොවුණද තීරණාත්මක තරගවලදී සාර්ථකවන පිතිකරුවෙකු බැවින් සංගා අද තරගයේදී ලකුණු අතරට පැමිණීමට වැඩි අවස්ථාවක් ඇත. සංගා ලකුණු අතරට පැමිණියහොත් සෙසු පිතිකරුවන්ට ඔහු වටා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදාකරගත හැකිය. එමෙන්ම අද තරගයේදී මහේල ද තීරණාත්මක සාධකයකි. විශේෂයෙන්ම මෙවැනි තරගවලදී මහේල පිතිහරඹය මෙන්ම ඔහුගේ අත්දැකීම්ද යොවුන් නායක චන්දිමාල්ට වැදගත්ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් සුනිල් නරේන්ගෙන් පරිස්සම් විය යුතුය. ශ්‍රී ලංකා පිතිකරුවන් මේ දක්වා ඔහු හමුවේ අසාර්ථකවිය. එය බ.ඉ.කොදෙව්වන්ට ධන ලකුණකි. එබැවින් ඔහුගේ පන්දුවාර හතරේදී වේගවත් පහරවල් කරා යෑමට වඩා ඔහු ඉදිරියේ ආරක්ෂාකාරී වී සෙසු පන්දු යවන්නන්ට ප්‍රහාරයක් දියත් කිරීම වැදගත්ය. සුනිල්ගේ පන්දුවාර හතරේදී කඩුලු ලබානොදී ලකුණු 30 සීමාවට පැමිණීමට අවස්ථාවක් උදාකරගැනීමට හැකිවුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායම වාසියකි. ඔහු හමුවේ ආරක්ෂාවීමට කුසල් ජනිත්ට අවස්ථාවක් උදාකර ගතහොත් කුසල්ගෙන් දිගු ඉනිමක් අපේක්ෂා කළ හැකිය.
අද තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්
ශ්‍රී ලංකා කණ්ඩයම - 01. කුසල් ජනිත් පෙරේරා, 02. තිලකරත්න ඩිල්ෂාන්, 03. මහේල ජයවර්ධන, 04. කුමාර් සංගක්කාර, 05. ඇන්ජලෝ මැතිව්ස්, 06. දිනේෂ් චන්දිමාල්, 07. ළහිරු තිරිමාන්න/ තිසර පෙරේරා, 08. සචිත්ර සේනානායක, 09. නුවන් කුලසේකර, 10. රංගන හේරත්, 11. ලසිත් මාලිංග
බ.ඉ. කොදෙව් කණ්ඩායම - 01. ඩ්වේන් ස්මිත්, 02. ක්‍රිස් ගේල්, 03. ලින්ඩ්ල් සිමන්ස්, 04. මාලන් සැමුවෙල්, 05. ඩ්වේන් බ්රාවෝ, 06. දිනේෂ් රාම්දීන්, 07. ඩැරන් සාමි, 08. ඇන්ඩ්‍රෘ රසල්, 09. සුනිල් නරේන්, 10. සැමුවෙල් බඩ්රි, 11. ක්රිසස්මර් සන්ටොකියි