අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළමු තරගයේදී ක්‍රීඩකයන්ට සිය උපරිම දක්ෂතා දැක්වීමට නොහැකි වූ නමුත් හෙට (16දා) තරගය සඳහා කණ්ඩායම හොඳ විශ්වාසයකින් පුහුණුවීම් සිදුකළ බව ජාතික යොවුන් (20 පහළ) රග්බි කණ්ඩායමේ පුහුණුකරු සනත් මාටිස් මහතා 'අද' පුවත්පතට පැවසීය.
තරගාවලියේ හොංකොං සමගින් හෙට පැවැත්වෙන තරගය සඳහා සිය සූදානම පිළිබඳ අද (15දා) විමසුමකදී හෙතෙම මෙම අදහස් පළකළේය.
එහිදී අදහස් දැක්වූ පුහුණුකාරවරයා,
"පසුගිය තරගයේදී අපේ දක්ෂතා හරියටම නිර්ණය කරන්න බෑ. එදා තිබ්බ වැසිබර කාලගුණයත් එක්ක ක්‍රීඩාංගණය හොඳටම මඩ වෙලා තිබ්බෙ. එනිසා ළමයින්ගෙ හොඳම ක්‍රීඩා කෞෂල්‍යය පෙන්නන්න බැරි වුණා. නමුත් අද දවසම ක්‍රීඩාංගණයට යහපත් කාලගුණයක් තිබ්බේ. අපි හිතනව ඒ තත්ත්වය හෙටත් (16දා) තිබ්බොත් අපේ දක්ෂතා දක්වන්න හොඳ තත්ත්වයක් උදාවෙයි කියල" යැයි පැවසීය.
කෙසේ වෙතත් හෙට තරගයේදී කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. පළමු තරගයේදී ප්‍රොප් ස්ථානයේ ක්‍රීඩා කළ ළසිඳු ඉෂාන් වෙනුවට අයේෂ් මදුරංගත්, ලොක් ස්ථානයේ ක්‍රීඩා කළ මතීෂ සරත්චන්ද්‍ර වෙනුවට එම ස්ථානයට රාහුල් කරුණාතිලකත්, ෆ්ලෑන්කර් ස්ථානයේ ක්‍රීඩා කළ ඉසුරු රංගල වෙනුවට තාරික් සාලේත් ක්‍රීඩා කරනු ඇති බව දැනගන්නට ලැබේ.
හොංකොං කණ්ඩායම පසුගිය වර්ෂයේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමටද සමත් විය. කෙසේ නමුත් තරගාවලියේ තමන් සහභාගි වූ පළමු කඩයිම සාර්ථක ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ සත්කාරක සිංගප්පූරුව ලකුණු 27-12 ක් ලෙසින් පරාජය කරමිනි.
ඡායාරූපය - ද සන්ඩේ ටයිම්ස්