මේ වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ධාවන තරගවලට සහභාගි නොවී අන්තර්ජාතික තරග සඳහා වැඩි අවධානයක් ලබාදීමට තමන් තීරණය කළ බව ප්‍රවීණ මෝටර් රථ ධාවක අශාන් සිල්වා 'අදට' පැවැසීය.
2016 වසරේ ශ්‍රී ලංකාවේ මෝටර් රථ තරගාවලියට එක්නොවී අශාන් විදෙස්ගතවීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරු පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ලංකාවේ මම දැනට අවුරුදු 10 ක ඉඳන් ධාවන තරගවලට සහභාගි වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වසරේදී මේ සඳහා පොඩි නැවතීමක් තියන්න. මම 2009 වර්ෂයේ ඉඳලා ජාත්‍යන්තර තරගවලට සහභාගිවෙලා තිබෙනවා. නමුත් ලංකාවෙ තරග කාලසටහනත් එක්ක විදෙස් තරගාවලි සඳහා සහභාගි වෙන්න අමාරුයි.
මේ වසරේ මම වැඩිපුරම පුහුණු හා සාමාන්‍ය විදෙස් තරගවලට සහභාගි වෙන්න තමයි අදහස් කරන්නේ. ඒ සඳහා අපට කණ්ඩායමක් සිටිනවා. කෙසේ නමුත් ශූරතා සඳහා මම සහභාගි වෙන්න අදහස් කරල තියෙන්නෙ එළඹෙන වර්ෂයේ සිට. ඒ සඳහා මේ වර්ෂයේ සිට ලංකාවේ ශූරතා තරග සම්පූර්ණයෙන්ම නවත්තල විදෙස් තරග සඳහා අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් පරක්කු වැඩියි. නමුත් මීට වඩා අත්දැකීමක් ලබාගෙන ලංකාවෙ අයටත් ඒවා ලබාදෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ" යනුවෙන් අශාන් වැඩිදුරටත් පවසා සිටියේය.
වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ දක්ෂතම මෝටර් රථ ධාවකයා වශයෙන් සම්මාන දිනාගෙන ඇති අශාන්, ශ්‍රී ලංකාවේ තමන්ට තරගකාරීත්වයක් ලබාදීමට ප්‍රමාණවත් ක්‍රීඩක පිරිසක් නැතැයිද සඳහන් කළේය.
"ඇත්තටම ලංකාවෙ පැද්දා කියල අපට ශූරතාව සඳහා ලොකු අගයක් ලැබෙන්නෙ නෑ. ශූරතාවක් දිනුවා කියල මේකට අපෙන් වෙන වියදම විතරයි. මොකුත් ලැබෙන්නෙ නෑ. ඒ වගේම ලංකාවෙ සහභාගි වෙන තරගවලදී හැමදාම දිනන්නෙ මම විතරයි. ඒ නිසා විදෙස් තරගාවලියකට සහභාගි වෙලා අලුත් අත්දැකීමක් ලබාගන්න තියෙනව නම් හොඳයි."
කෙසේ වෙතත් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේ තරග සඳහා සහභාගි නොවීමට තමන් තීරණය කොට නොමැති බවත්, මේ වර්ෂය සඳහා පමණක් තීරණය දැනට අදාළ වන බවත් අශාන් පවසා සිටියේය.
ඔහු එළඹෙන 05 වැනිදා ඩුබායිහීදී පැවැත්වෙන අන්තර්ජාතික මෝටර් රථ ධාවන තරගාවලියක් සඳහා අද (16දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
2005 වර්ෂයේදී දේශීය මෝටර් රථ තරග බිමට පිවිසි අශාන් සිල්වා, මේ දක්වා ජාතික හා අන්තර් සමාජ මෝටර් රථ ශූරතා 23 ක් දිනාගැනීමට සමත්ව තිබේ. හෙතෙම පසුගිය වර්ෂයේ මෝටර් රථ ධාවකයන්ගේ (ස්ලාඩා) සම්මාන උලෙළේදී වසරේ දක්ෂතම ධාවකයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ඡායාරූප චානුක කුලසේකර