කොලින් මුන්රෝගේ අනුකම්පා විරහිත පිතිකරණයත් ඇඩම් මිල්නේගේ උපායශීලී පන්දු යැවීමත් නිසා ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලියට පෙර තමන් මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන් නවසීලන්තය හමුවේ ලකුණු 74 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.
මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (10දා) පැවැති මෙම තරගයේ ලකුණු 227 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 152 ක් පමණි.
ළහිරු තිරිමාන්න ලකණු 41 ක් හා හා චාමර කපුගෙදර ලකුණු 38 ක් බැගින් රැස්කරමින් ශ්‍රී ලංකාව යම් ස්ථාවරත්වයක් කරා ගෙන ආවද ඔවුන්ගේ දැවී යාම් වලින් පසු ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණ බලාපොරොත්තු ඉවතට ගියේය. කෙසේ වෙතත් අවසන් මොහොත දක්වා පිටියේ රැඳී සිටිමින් නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 25 ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමෙන් නවසීලන්තය වෙනුවෙන් ඇඩම් මිල්නේ කඩුලු 3 ක් දවාළීමට සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නවසීලන්තය සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 226 ක් රැස් කිරීමට සමත් විය. නවසීලන්තය දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාමේ පුරෝගාමියෙකු වූ කොලින් මුන්රෝ පන්දු 34 කදී වේගවත් ලකුණු 67 ක් රැස් කළ අතර ඊට හයේ පහර 7 ක්ද අන්තර්ගත විය.
ඊට අමතරව කුරේ ඇන්ඩර්සන් පන්දු 29 කදී හතරේ පහර 4 ක් හා හයේ පහර 5 ක් සමගින් ලකුණු 60 ක් රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දසුන් ශානක කඩුලු 2 ක් දවාළීය. ඊට අමතරව සුරංග ලක්මාල් එක් කඩුල්ලක් බිඳහෙළීය.තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි හා අවසන් පුහුණු තරගය එළඹෙන 14 වැනිදා පාකිස්තානය සමගින් ධරම්ශාලාහීදී පැවැත්වේ.
