විවිධ අංශයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 95 දෙනෙකු මේ වසර තුළදී තහනම් උත්තේජක පරීක්ෂාවට ලක්කර ඇතත්, එයින් වැරදිකරුවන් බවට පත් වී ඇත්තේ එක් අයෙකු පමණක් බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
තහනම් උත්තේජක ලබාගත් බව ඔප්පු වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා කේ.ජී.ඒ. ශාලිකා ඩයස් ක්‍රීඩිකාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පිළිබඳව කොළඹ ක්‍රීඩා විද්‍යා ආයතනයේ ඊයේ (21දා) පැවැති මාධ්‍ය දැනුවත් කිරීමකදී හෙතෙම මේ බව පැවසීය.
මෙහිදී අදාළ ක්‍රීඩිකාවට ලබාදෙන දඬුවම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ ඇය ලෝක උත්තේජක මර්දන නීති සංග්‍රහයේ 2.1 උප වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බව තහවුරු වී ඇති බවයි. එමනිසා එකී නීති සංග්‍රහයේ 10.2.1.2 උප වගන්තිය ප්‍රකාරව ඇයට එරෙහිව වසර 04 ක කාලයක් බල පැවැත්වෙන තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ විනය කමිටුව ඒකමතිකව තීරණය කළ බවද ඔහු කීය.
මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා පසුගිය මැයි මාසයේදී කොළඹදී පැවැති තේරීම් තරගාවලිය තුළදී මෙම ක්‍රීඩිකාවගේ මුත්‍රා සාම්පල් පරීක්ෂාවට ලක්කළ අතර, එහිදී ඇයගෙන් ලබාගන්නා ලද මුත්‍රා සාම්පලයේ ඒ නියැදිය තුළ මෙටනොලෝන් හා ට්රෙන්බොලෝන් යන තහනම් උත්තේජක සංඝටක අඩංගු වී තිබූ බව කරන ලද රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වූ බව මෙහිදී නිවේදනය කෙරිණි.
මෙහිදී අදාළ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අර්ජුන මහතා වැඩිදුරටත් පැවසුවේ, තහනම් උත්තේජක මර්දනය සඳහා ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය (වාඩා) විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවයි.
"ක්‍රීඩකයෙකුට වසර 04 ක කාලයක් මලල ක්‍රීඩාවෙන් ඉවත් වී සිටීම විශේෂයෙන් යොවුන් ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා ජීවිතයට බෙහෙවින් බලපානවා. ඒ නිසා වාඩාහි මෙවැනි ක්‍රියාමාර්ග මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැරදිවලට පෙළඹීමේ අඩුවක් ඇතිවෙනවා.
ශ්‍රී ලංකාව පිළිබඳ සැලකුවොත් පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේදී තහනම් උත්තේජක නීතිරීති උල්ලංඝනය කිරීම්වල සැලකිය යුතු අඩුවක් පවතිනවා. ඒ සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ සක්‍රිය මැදිහත් වීම, පාලනය, පාසල් මට්ටමින් දැනුවත් කිරීම මූලික හේතුවක්" යැයි මහාචාර්යවරයා පැවසීය.
ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය මගින් පනවනු ලැබූ 2015 නව නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව අදාළ වරද සඳහා උපරිම දඬුවම් කාලය වසර 04 ක් විය යුතු බවට නියම කරනු ලැබීමෙන් අනතුරුව එකී නව නීති ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකාව තුළ යම් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක දණ්ඩනයට යටත් කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ. ශාලිකා ඩයස් ක්‍රීඩිකාවගේ මෙම දඬුවම් කාලය ඇය තහනම් උත්තේජක සම්බන්ධයෙන් වැරදිකාරිය බවට පත් වූ මෙම වර්ෂයේ මැයි මස 10 වැනිදා සිට බල පැවැත්වෙනු ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්යක්ෂ වෛද්‍ය සීවලී ජයසේකර මහතාද සහභාගී වී සිටියේය.
සටහන / ඡායාරූප - ඕෂිත වරකපිටිය