ප්‍රධාන තරගකරුවන් 4 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග කිරීමට තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය උණුසුම් තත්ත්වයට පත්ව තිබෙන බව 'අද' ට වාර්තා වේ.
අමාත්‍ය අර්ජුන රණතුංග, නිශාන්ත රණතුංග, ජයන්ත ධර්මදාස හා තිලංග සුමතිපාල යන ප්‍රධාන තරගකරුවන් 4 දෙනෙකු යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව පිළිබඳ කතාබහ දෝලනය වුවත්, අර්ජුන රණතුංග හා නිශාන්ත රණතුංග එක් පාර්ශ්වයක් ලෙසද, ජයන්ත ධර්මදාස හා තිලංග සුමතිපාල තවත් පාර්ශ්වයක් ලෙසද තරග වැදීමට නියමිත බවත් තොරතුරු වාර්තා විය.
මේ පිළිබඳව අපි හිටපු ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ, ප්‍රධාන තරගකරුවන් දෙදෙනෙකු මේ වනවිට තරග කරන බවට පවසා සිටියත් කිසිවෙකුත් ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කර නොමැති නිසා එම තරගකරුවන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ පසු තමන් තරග කරනවාද නැද්ද යන්න තීරණය කරන බවයි. ක්‍රිකට් නිලවරණයට තරග කිරීම සම්බන්ධව කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ක්‍රිකට් නිලවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයෙකු වන නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාද නිලවරණය සම්බන්ධ තමාගේ ස්ථාවරය 'අද' ට පැවසුවේය. එහිදී ඒ මහතා පවසා සිටියේ, තමන් නිලවරණයට ඒකාන්තයෙන්ම තරග කරන බව පැවැසීමට ක්‍රිකට් අතුරු කමිටුව විසුරුවා හැර නොමැති නිසා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීම කල් වැඩි බවයි. එසේම ක්‍රිකට් නිලවරණයට තමාට තිබුණු බාධකය ජනතාව විසින් ඉවත් කර ඇති බවත්, ක්‍රිකට් ආයතනය තුළ තිබෙන ගැටලු විසඳා ගත යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම ජයන්ත ධර්මදාස සමග ඒකාබද්ධව නිලවරණයට ඉදිරිපත් වීම පිළිබඳව තවමත් මාධ්‍යයට ප්‍රකාශයක් කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.
මේ පිළිබඳව නිශාන්ත රණතුංග මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ, නිලවරණයක් කැඳවුවහොත් ඒකාන්තයෙන්ම තමන් තරග කිරීමට බලාපොරොත්තු වන බවයි.
තමන් හා අර්ජුන රණතුංග ඒකාබද්ධ කඳවුරකින් නිලවරණයට සහභාගී වන බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ නිශාන්ත රණතුංග මහතා, නිලවරණයක් කැඳවූ පසුව නිලවරණයට තරග කරන ආකාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන බවද පැවසුවේය.අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාද මීට ඉහතදී සඳහන් කළේ ක්‍රිකට් නිලවරණයට තරග කිරීමට තමන්ට ඉල්ලීම් එන බවයි. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ දක්වා ක්‍රිකට් නිලවරණයකට දින නියම කර නැත.