සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර මීර්පූර්හිදී අද (30දා) අවසන් වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 248 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
බංග්ලාදේශ කණ්ඩායමට ටෙස්ට් වරම් හිමි වූ පසු, 2001 වසරේ සිට මේ දක්වා දෙරට අතර ටෙස්ට් තරග 15 ක් පවත්වා ඇති අතර, අද (30දා) ලැබූ පරාජය ඔවුන් එම වසර 13 ඇතුළත ශ්‍රී ලංකාව හමුවේ ලැබූ 14 වැනි ටෙස්ට් තරග පරාජය විය. එක් තරගයක් පමණක් ජය පැරදුමෙන් තොරව අවසන්ව ඇත.
අද දිනය ආරම්භ කරනවිට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 35/1 ක් රැස්කරගෙන ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 463 ක් පසුපසින් සිටි අතර, ඔවුන්ට තවදුරටත් ඉනිම ඉදිරියට රැගෙන යාමට හැකිවූයේ ලකුණු 250 ක් දක්වා පමණි. ශ්‍රි ලංකා පන්දු පවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු 215 ක් ඇතුළත ඉතිරි කඩුලු 9 බිඳවැටිණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ටෙස්ට් තරගයේ ජය හිමිවිය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා 109/5 ලෙස කඩුලු දවාලීය. එය ඔහුගේ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වූ අතර, මෙම තරගයේදී පන්දු යවන්නෙකු විදහා දැක්වූ හොඳම පන්දු යැවීමද විය.
පසුගිය 27 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළේය. ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 63.5 ක් අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 232/10 පමණි.
ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 187.5 ක් අවසානයේ ලකුණු 730/6 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. මහේල ජයවර්ධන නොදැවී ලකුණු 203 ක් රුස්කිරීමට සමත්විය. එය මහේලගේ 07 වැනි ද්විත්ව ශතකය මෙන්ම, බංග්ලාදේශයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ද්විත්ව ශතකයද විය. මහේල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වාර්තා අතරට එක්වූයේ වැඩිම ද්විත්ම ශතක සංඛ්‍යාවක් රැස්කළ ලොව පස්වැනි පිතිකරුවා ලෙසයි.
ඔහුට අමතරව පිත්තෙන් දක්ෂතා දැක්වූ කෞෂාල් (139) සිල්වා හා කිත්රුවන් විතානගේ (103*) මෙම තරගයේදී සිය මංගල ටෙස්ට් ශතක වාර්තා කිරීමට සමත්වූහ.තරගයේ වීරයා ලෙස මහේල ජයවර්ධන සම්මාන ලැබීය. තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි 04 වැනිදා චිතගොංහිදී ආරම්භ වේ.
ඡායාරූප AFP
බංග්ලාදේශය පළමු ඉනිම 232/10 (පන්දුවාර 63.5)
මුෂ්ෆීකර් රහීම් 61 (පන්දු 122, 4x9)
ශකීබ් අල් හසන් 55 (පන්දු 91, 4x9)
සොහාග් ගාසි 42 (පන්දු 56, 4x6, 6x1)
සම්සූර් රෙහෙමාන් 33 (පන්දු 34, 4x7)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
ශමින්ද එරංග 49/4 (පන්දුවාර 17.4)
සුරංග ලක්මාල් 66/3 (පන්දුවාර 18.1)
රංගන හේරත් 50/2 (පන්දුවාර 11)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 730/6 (පන්දුවාර 187.5)
මහේල ජයවර්ධන 203* (පන්දු 271, 4x16, 6x4)
කිත්රුවන් විතානගේ 103* (පන්දු 104, 4x12, 6x2)
කෞෂාල් සිල්වා 139 (පන්දු 244, 4x16, 6x2)
ඇන්ජලෝ මැතිව්ස් 86 (පන්දු 162, 4x7, 6x1)
කුමාර් සංගක්කාර 75 (පන්දු 182, 4x9)
දිමුත් කරුණාරත්න 53 (පන්දු 113, 4x6)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 159/3 (පන්දුවාර 43)
සොහාග් ගාසි 130/2 (පන්දුවාර 39)
බංග්ලාදේශය දෙවැනි ඉනිම 250/10 (පන්දුවාර 51.5)
මොමිනුල් හක් 50 (පන්දු 57, 4x8)
අල් අමින් හුසේන් 32* (පන්දු 18, 4x1, 6x4)
නාසාර් හුසේන් 29 (පන්දු 41, 4x5)
ශකීබ් අල් හසන් 25 (පන්දු 32, 4x2, 6x1)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
දිල්රුවන් පෙරේරා 109/5 (පන්දුවාර 19.5)
සුරංග ලක්මාල් 39/3 (පන්දුවාර 14)
ශමින්ද එරංග 26/1 (පන්දුවාර 6)