2024-2025 ශ්‍රීපාද වන්දනා සමය මැයි මස වෙසක් පොහෝ දින (12) වන දිනෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසීය.
2024-2025 ශ්‍රී පාද වන්දනාවාරය අවසන් කිරිම සම්බන්ධයෙන් (08) දින මාධ්‍යට අදහස් දක්වමින් උන් වහන්සේ ඒ බැව් පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රි පාදස්ථානාධිපතිනාහිමියන් කියා සිටියේ මේ අනුව ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්රතිමාවන් (13) දින ශ්‍රිපාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දර මාර්ගයේත්, හැටන් නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල මාර්ගයේත්, නල්ලතන්නිය බගවන්තලාව බලන්ගොඩ මාර්ගයේත්, පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය දක්වා වඩම්මවා චාරිත්‍රානුකූලව ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එසේ වඩම්මවන සධාතුක කරඩුව, සමන් දේව ප්රතිමාවන් එහි තැම්පත් කර තබන බවයි.
ශ්‍රීපාද අවාරයේ දි විදේශීය සංචාරකයන් ශ්‍රීපාදස්ථානය සංචාරය කිරිමට නල්ලතන්නි පොලිසිය දැනුවත් කර යැමට අවසර ලබා දී ඇත් බවත්, දේශීය සංචාරකයන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් අවසර ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කර අවසර ලැබීමෙන් පසු ඒ පිළිබදව නල්ලතන්නි පොලිසියට අවසර පත ඉදිරිපත් කර ශ්‍රීපාදය කරුණා කිරිමට අවසර දී ඇති බවයි ගෞතම ශ්රීපාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.