වියපත් වූ තමන්ද කිසිවෙකු විසින් හෝ රැකබලා ගත යුතු වයසක සිටින දියණියක සහ බෑණා කෙනෙකු සිය වියපත් මව රැකබලා ගන්නා පුවතක් වැලිකන්ද, මල්විල ගම්මානයෙන් වාර්තා වේ.
ටී.ඩී. ගිමාරහාමි නමැති 109 හැවිරිදි මව රැකබලා ගැනීම සඳහා මෙසේ වෙහෙසෙන්නේ 70 හැවිරිදි එල්.කරුණාවතී සහ ඇගේ සැමියා වන 75 හැවිරිදි පොඩි ආප්පුහාමි යුවළයි.
දරුවන් 05 දෙනෙකුගේ මවක් වන ගිමාරහාමි මුණුබුරු මිණිබිරියන් 13 කට වැඩි ගණනකගේ මිත්තණියකි.
දැඩි ආර්ථික දුෂ්කරතා මත වියපත් යුවළ සිය වියපත් මව රැක බලා ගැනීමට මහත් ආයාසයක් දරන බව අපට දැකගත හැකි විය.
මෙම පවුල ජීවත් වන නිවසේ විදුලිබල පහසුකම් පවා නොමැති අතර, සිය වියපත් මවගේ ඖෂධ හා වෙනත් කටයුතු වෙනුවෙන් තමන් ඇතැම් දිනවල බඩගින්නේ පවා සිටින බව 70 හැවිරිදි කරුණාවතී පවසා සිටියාය.
මෙසේ වියපත් මවක් රැකබලා ගනිමින් ජීවත් වන මෙම අසරණ පවුල සඳහා යම් උපකාරයක් කළ හැකි නම් එය මහත් වූ පුණ්‍ය කර්මයක් වනු ඇතැයි අපි සිහිපත් කරන්නෙමු.