මාවනැල්ල හෙම්මාතගම තඹවිට කන්දේ අබලන් පැල්පතක තනිවම දිවිගෙවන 74 වියැති මවක පිළිබඳව අපට වාර්තා විය. ඇය සොයා අපි එහි ගියෙමු.
මෙ අසරණ මව නමින් ජී.ජී. නන්දා පොඩිමැණිකේ නම් වේ. ඇය ජීවත්වන මේ නිවස පිහිටා ඇත්තේ ගමනාගමනය හා ප්රවාහනය ඇතුළු පොදු පහසුකම් කිසිවක් නොමැති කඳු ගැටයකය. එය කඩා වැටෙන්නට ආසන්න තරමට අබලන්ව තිබේ.
ඇය හැඬූ කදුළින් යුතුව සිය ජීවිත කතාව අප සමග මෙලෙස පැවසුවාය.
"මට ඉන්නේ එක පුතයි. පුතා බැඳලා වෙනම ඉන්නේ. මට සලකන්න පුතාටත් අමාරුයි. කුලී වැඩ කරලා එයාගේ දරුවන් හා බිරිඳ ජීවත් කරවන්නත් පුතාට අමාරුයි. සමහර දවස්වල පුතා කෑම ගෙනත් දෙනවා. ඒ වුණාට ඒ දේ කරන්නවත් පුතාට අමාරුයි. දැන් මගේ පැල් කොටේ මහ වැස්සට හැමතැනම තෙමෙනවා. කොයි වේලාවේ මේක ඇදවැටිලා මාව මැරෙයිද දන්නේ නැහැ.
පැල හදාගන්න රජයෙන් වගේම වෙනත් අයගෙන් උදව් ඉල්ලුවා. නමුත් වැඩක් වුණේ නැහැ. රජයෙන් කියලා ලැබෙන්නේ මාසයකට රුපියල් 2000 ක මුදලක්. ඒකෙන් තමයි අමාරුවෙන් දිවි ගැටගහගන්නේ" යැයි ඇය පවසන්නීය.
ඇයට පිහිටක් වන්නට හැකි කෙනෙකු ඇත්නම් උදව්වක් කරන මෙන් තඹවිට ප්රදේශවාසීහු ඉල්ලා සිටිති. ඇයට උදවු උපකාර කරන්නෙකුට ඒ සඳහා තඹවිට වැඩිහිටි සමිතිය හරහා එම කටයුත්ත කළ හැකිය. ඒ පිළිබඳ වැඩිදුර විස්තර 076 77 330 22 හෝ 072 16 330 22 යන දුරකථන අංකවලින් දැනගත හැකිය.
සමන්විජය බණ්ඩාර