කහටගස්දිගිලිය, මීමින්නාවල ප්රදේශයේ කායන්ගොල්ලෑව වැවට යාබඳ කුඹුරක් ආසන්නයේ පිහිටි කැලෑබද කොටසක තිබී වන ඇතකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
කහටගස්දිගිලිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වන ඇතාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර, සොයා ගන්නා අවස්ථාව වන විට ඇතාගේ වම්පස දළය නොමැති බව නිරීක්ෂණය වී ඇත.
හස්තියා ඝාතනය කර, වම් දළය කිසියම් පුද්ගලයකු විසින් කපාගෙන ගොස් ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරන අතර, ඇතා මියගොස් යම් කාලයක් ගතවී ඇති බවට ද සැක කෙරෙනවා.
මියගිය හස්තියා 'ලංකේෂ්වර' නමින් හුරුළු වැව රක්ෂිතයේ ප්රකටව සිටි හස්තියා බවට ඇතුන් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති පාර්ශව විශ්වාස කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය, දිවුල්වැව පොලීසිය සහ යුද හමුදාව එක්ව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පසුගියදා ඇතුන් 13 දෙනෙකු වෙත හමුදා ආරක්ෂාව ලබාදීමට මූලික සාකච්ඡා පැවැතුන අතර කෙසේ වෙතත් ලංකේෂ්වර නැමැති මෙම ඇතා එම ඇතුන් 13 දෙනාට අයත් නොවීය.
