ලංකාවේ HIV සමඟ ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව 8,700ක්
සෑම වසරකම දෙසැම්බර් මස පළමුවන දිනට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය මෙවර “ඒඩ්ස් තුරන් කරන්න සේවා සදහා එකතුවන්න ” යන ගෝලීය තේමාව යටතේ සමරනු ලබයි.
ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව HIV පිළිබඳ නිවැරදි විද්‍යාත්මක දැනුම සමාජගත කිරීම, ආසාදනය වළක්වා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, පරීක්ෂණ සඳහා යොමුවීම දිරිගැන්වීම සහ HIV සමඟ ජීවත් වන පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයේ පවතින අනවබෝධය හා අපකීර්තිමත් ආකල්ප දුරු කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ජාත්‍යන්තර ඇස්තමේන්තුවලට අනුව 2025 වසරේදී ලොව පුරා HIV සමඟ ජීවත් වූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 41ක් පමණ වේ. එම වසර තුළ පුද්ගලයන් මිලියන 1.2ක් පමණ අලුතින් HIV ආසාදනයට ලක්ව ඇති අතර, එය 2010 වසරට සාපේක්ෂව සියයට 42ක අඩුවීමක් නියෝජනය කරයි. මෙම ප්‍රගතිය HIV නිවාරණය හා ප්‍රතිකාර ක්ෂේත්රයේ ලබා ඇති ජයග්‍රහණ පිළිබිඹු කළද, තවදුරටත් ලොව පුරා සැලකිය යුතු පිරිසක් HIV සමඟ ජීවත් වන බැවින් නිවාරණ හා ප්‍රතිකාර සේවා අඛණ්ඩව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පවතින බව ජාත්‍යන්තර දත්ත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ නවතම ඇස්තමේන්තුවලට අනුව HIV සමඟ ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව 8,700ක් පමණ වේ. සාමාන්‍ය වැඩිහිටි ජනගහනය අතර HIV ව්‍යාප්තිය සියයට 0.1කටත් වඩා අඩු මට්ටමක පැවතියද, මෑත වසරවලදී අලුතින් හඳුනාගන්නා HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම අවධානය යොමු කළ යුතු මහජන සෞඛ්‍ය අභියෝගයකි. මෙම තත්ත්වය HIV නිවාරණ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීම, පරීක්ෂණ සේවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ආසාදනය කල්තියා හඳුනාගැනීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
1987 වසරේදී ශ්‍රී ලංකාවෙන් පළමු HIV ආසාදිතයා හඳුනාගැනීමෙන් අනතුරුව මෙරටින් වාර්තා වන HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, 2017 වසරේ සිට එම වර්ධනය වඩාත් කැපී පෙනෙන මට්ටමකට පත්ව තිබේ. ඒ අනුව 2025 වසරේදී නව HIV ආසාදිතයන් 874 දෙනකු හඳුනාගෙන ඇති අතර, එය වසරක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
විශේෂයෙන්ම වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. 2010 වසරේදී මෙම වයස් කාණ්ඩයෙන් වාර්තා වූ නව HIV ආසාදිතයන් සංඛ්‍යාව 13ක් වූ අතර, එය 2024 වසර වන විට 115ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2025 වසරේදී එම සංඛ්‍යාව 107ක් ලෙස වාර්තා වී ඇති බව ද එම වැඩසටහනේ දත්ත පෙන්වා දෙයි.
තවද 2026 වසරේ තෙවන කාර්තුව අවසන් වන විට මෙම වයස් කාණ්ඩයෙන් නව HIV ආසාදිතයන් 88 දෙනකු හඳුනාගෙන ඇති අතර, ඉන් 78 දෙනකුම වයස අවුරුදු 20ත් 24ත් අතර පසුවන්නන් වේ. පසුගිය වසර කිහිපය තුළ මෙම වයස් කාණ්ඩයේ පිරිමි තරුණයන් අතර නව HIV ආසාදිතයන් හඳුනාගැනීමේ ප්‍රවණතාව වඩාත් කැපී පෙනෙන බව ද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි. මෙම දත්ත මඟින් තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් විද්‍යාත්මක දැනුවත් කිරීමේ වැඩසටහන්, නිවාරණ සේවා සහ රහස්‍යභාවය සුරක්ෂිත පරීක්ෂණ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.
HIV ආසාදනය යනු නිසි වෛද්‍ය ප්‍රතිකාර හා සත්කාර යටතේ පාලනය කළ හැකි සෞඛ්‍ය තත්ත්වයකි. ආසාදනය කල්තියා හඳුනාගෙන වෛද්‍ය උපදෙස් මත ප්‍රතිවෛරස ප්‍රතිකාර (Antiretroviral Therapy – ART) ලබාගැනීම තුළින් HIV සමඟ ජීවත් වන පුද්ගලයන්ට යහපත් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාමට හැකියාව පවතී. එමෙන්ම ප්‍රතිකාර නිසි පරිදි ලබාගැනීමෙන් වෛරසයේ ප්‍රමාණය හඳුනාගත නොහැකි මට්ටමකට පාලනය කළ හැකි අතර, එවැනි අවස්ථාවකදී ලිංගික සම්බන්ධතා මඟින් HIV සම්ප්‍රේෂණය වීමක් සිදු නොවන බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ. එබැවින් HIV පරීක්ෂණ සඳහා යොමුවීම, නිවැරදි නිවාරණ ක්‍රමවේද අනුගමනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී සෞඛ්‍ය සේවා ලබාගැනීම පුද්ගල සෞඛ්‍යය මෙන්ම සමස්ත ප්‍රජාවේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ද වැදගත් වේ.
එමෙන්ම HIV සමඟ ජීවත් වන පුද්ගලයන් සමාජයෙන් කොන් කිරීම, වෙනස්කොට සැලකීම හෝ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයෙන් කටයුතු කිරීම වෙනුවට, ඔවුන්ට ගෞරවාන්විතව හා මානුෂීයව සැලකීමත්, අවශ්‍ය සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව ලබාගැනීමට අවස්ථාව සැලසීමත් සමාජයේ සියලු පාර්ශ්වයන් සතු වගකීමකි. HIV ආසාදනය පිළිබඳ පවතින වැරදි මත හා අනවශ්‍ය බිය දුරු කරමින් නිවැරදි විද්‍යාත්මක දැනුම සමාජගත කිරීම, ආසාදිත පුද්ගලයන්ගේ අභිමානය හා පෞද්ගලිකත්වය සුරැකීම සහ නිවාරණ ක්‍රියාමාර්ග සඳහා ප්‍රජා සහභාගිත්වය පුළුල් කිරීම ඒඩ්ස් තුරන් කිරීමේ ජාතික ප්රයත්නයේ අත්‍යවශ්‍ය අංග බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන අවධාරණය කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
