පළාත් පාලන අමාත්‍යාංශය සංවිධානය කරන පළාත් පාලන ආයතන අතර කළමනාකරණ තරගයෙන් මෙවර මහනුවර මහ නගර සභාව ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර, ගත වූ වසර වනවිට නගර සභාවට වසර 150 ක් සම්පූර්ණ වීමද තවත් අවස්ථාවකි. එම සිදුවීම් දෙකම අළලා ලද ජයග්‍රහණ සම්බන්ධයෙන් එහි නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා සමග 'අද' කරන සංවාදයකි මේ.
Q මහනුවර නගර සභාවේ ආරම්භය සහ පවතින ජනගහන ස්වභාවය පිළිබද පැහැදිලි කළොත්?
නගර සභාව ආරම්භ වන්නේ ක්‍රි.ව. 1866 අංක 17 දරණ මහ නගර සභා පනත අනුවයි. ඒ අනුව කොළඹ සහ මහනුවර මහ නගර සභා බවට පත් වුණා. 1939 සිට මේ දක්වා නගරාධිපතිවරුන් 17 ක් මෙම ආයතනයට පත්ව තිබෙනවා. මහනුවර නගරය 1988 වසරේදී යුනෙස්කෝ සංවිධානය මගින් ලෝකු උරුම නගරයක් බවට ප්‍රකාශයට පත් වුණා. නගරයේ නිවැසියන් 15,000 ක් පමණ වෙනවා. නගරයට පැමිණෙන ජනතාව දිනකට ලක්ෂ 04 සිට 06 ක් පමණ වෙතැයි ගණන් බලා තියෙනවා. මධ්‍යම පළාතේ ප්‍රධාන පරිපාලන නගරය වශයෙන් මහනුවර සැලකෙන අතර, මෙය සංචාරක පාරාදීසයක්.
දේශපාලන වශයෙන් මධ්‍යම පළාත් සභාව තුළ මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර හා සෙංකඩගල මැතිවරණ බල ප්‍රදේශවලට අයත් මෙහි ග්‍රාම නිලධාරී කොට්ඨාස 14 ක් තිබෙනවා. මහ නගර සීමාවට අයත් වර්ග ප්‍රමාණය හෙක්ටයාර් 2853 යි. නගර සභාව කොට්ඨාස 23 ක් ලෙස නාගරික මැතිවරණ සඳහා බෙදෙනවා.
නගරයේ සුන්දරත්වය අතීත ශ්‍රී විභූතිය සමග පවතින සාම්ප්‍රදායික බැඳීමක්. එතෙන්දි ස්වභාව සෞන්දර්යයේ අපූර්වත්වය රැකගනිමින් දුනුමඩලාව, බහිරවකන්ද, හන්තාන කන්ද සමග උඩවත්ත කැලය යන කඳු ගැටවලින් සහ මහවැලි නදියෙන් නගරය වට වී අලංකාර වෙනවා. 1812 පමණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉදිකළ කිරි මුහුද හෙවත් නුවර වැව අක්කර 44 ක භූමියක පැතිර නගරයට සිසිලසත්, අලංකාරයත් ගෙනදෙනවා. පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන 400කට ආසන්නයි. අක්කර 56කින් යුතු ලංකාවේ දෙවැනි විශාලතම සුසාන භූමිය අප සතුයි.
ආගමික වශයෙන් සැලකීමේදී ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ වැඩ හිඳින දළදා මැදුරත්, සර්වආගමික සහජීවනය වශයෙන් අනෙක් සෑම ජාතියකගේම ආගමික ස්ථානයන්ද අප බල ප්‍රදේශයට අයත් වෙනවා.
Q ඔබ සේවාවන් විස්තර කළොත්?
අපගේ සේවාවන් මව්කුස සිට මරණය තෙක් නොනැවතී එයින් ඔබ්බටත් ජනතාව සමග කරන කටයුත්තක්.
Q ලද ජයග්‍රහණය පිළිබඳ විස්තර කළොත්?
අපි ස්වර්ණපුරවර සම්මානය දිනාගත්තේ ප්‍රථම වරටයි. එහෙත් 2010 සිට පළාතේ හොඳම මහ නගර සභාව බවට පත් වුණා. 2012 න් පසු ජාතික මට්ට්මෙන් තරගයක් පැවතුණේ නැහැ. එය 2016 පැවැත්වුණා. එතෙන්දි අපට මේ ජයග්‍රහණය ලැබුණා. නගරය තුළ දිනකට එකතු වූ කැළිකසළ ප්‍රමාණය ටොන් 150 යි. මෙයට වසර දෙක තුනකට පෙර ටොන් 120 දක්වාත්, දැනට එය ටොන් 110 දක්වාත් අඩු කර තිබෙනවා. නමුත් පෙරහර සමය වැනි කාලවලදී එය ටොන් 150 දක්වා ඉහළ යනවා.
Q කටයුතු ව්‍යාප්තව පවතින ආකාරය පැහැදිලි කළොත්?
පොදුවේ පළාත් පාලන ආයතන ඉටු කරන කටයුතු අපිත් කරන්නේ. නමුත් එතෙන්දි අපි ඒවාට විශේෂිතව ගුණාත්මක ප්‍රමිතියක් සහ වැඩි අගයක් ලැබෙන තැනට කටයුතු සම්පාදනය කර තිබෙනවා. මාතෘධාරක සේවා, මහජනාධාර සහ සුභසාධක සේවා, ක්‍රීඩා, පුස්තකාල, සෞඛ්‍ය සේවා, ජල කර්මාන්ත, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, ආයුර්වේද, පශු, කර්මාන්ත, ගිනි නිවීම්, නාගරික ඉඩම්, සේවක මණ්ඩල, මුදල් දෙපාර්තමේන්තුව වශයෙන් කළමනාකරණය සහ පරිපාලනය සඳහා වෙන් කර තිබෙනවා.
එයින්ද දරිද්‍රතාවට පත් සහ අසරණ පවුල් සඳහා ජීවනධාර ලබාදීම කරනවා. මරණාධාර, වැඩිහිටි සහ ළමා නිවාස, දහම් පාසල් සඳහා ආධාර සැපයෙනවා. ජල කර්මාන්ත අංශයෙන් අප මහ නගර සභාව තවමත් අපේ බදු ගෙවන ජනතාවගේ පානීය ජලය සැපයීමේ වගකීම දරනවා. පැය විසි හතර පුරාවට ඉහළම ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් ජලය අඩුම මුදලකින් ලබාදීම අපේ නගර සභාවට හැකිවීමත් ජයග්‍රහණයක්. ඒ සඳහා දුණුමඩලාව සහ රෝස්නිලත් ජලාශයත්, ගැටඹේත් අපි යොදාගන්නවා.
Q කැළිකසළ අර්බුදය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර?
මම හිතන්නේ රටේ අභියෝගයට පවතින එක් කාර්යයක් තමයි කසළ අපද්‍රව්‍ය බැහැර කිරීම. අපේ කසළ එකතු කිරීම හා බැහැර කිරීම යටතේ නාගරික බදු ගෙවන්නන්ගේ කසළ එකතු කිරීම නොමිලයේ කෙරෙනවා. ව්‍යාපාරික ස්ථානවලින් කිලෝ ප්‍රමාණය ගණනය කර මුදල් අය කරනවා. දිනකට කසළ ඉවත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 04 ක් වියදම් දැරීමට සිදුවෙනවා. දැනට කසළ ආශ්‍රිතව විදුලිය උත්පාදන වැඩසටහනක් හරහා ජීව ඉන්ධන සැකසීම (RDF) සම්බන්ධයෙන් කටයුතු සකස් වෙමින් පවතිනවා. අනික අපි දවසේ පැය විසි හතර පුරාවට නගරය් කසළ ඉවත් කිරීමේ ක්‍රමයක් කරනවා.
Q විශේෂිත විවිධ ක්‍රියාකාරකම් කිහිපයක් පැහැදිලි කළොත්?
අපේ තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් විදියට ඉවතලන පොලිතින් එකතු කර පොලිතින් ඇට නිෂ්පාදනය කරනවා. මේ වනවිට ඒ සඳහා ගොහාගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශලාවක් ඉදිකර තිබෙනවා. ඒ ඇට සාදා අලෙවි කරනවා. ඉවතලන පොලිතින්, වීදුරු, ගෘහ උපකරණ, කාඩ්බෝඩ් වැනි දේ මිලදීගෙන ආදායම් උත්පාදන ව්‍යාපෘතින් නිර්මණය කර තිබෙනවා. එනිසා කුණු ලොරියට පැටවීම වෙනුවට ඔවුන් ඒවා ලොරියට ලබා දී මුදල් කරගැනීමේ ක්‍රමයක් තියෙනවා.
ලංකාවේ පශු වෛද්‍ය උපාධි අපේක්ෂිතයන් සඳහා පුහුණුව ලබාදෙන එකම පළාත් පාලනයත් අපි. ගිලන් රථ සේවාවක් යම් සාධාරණ කුලී මුදලක් ගෙවා ලබාගැනීමේ හැකියාව ජනතාවට ලබා දී තියෙනවා. කාර්යමණ්ඩල සදහා ගිනි නිවන පුහුණුව ලබාදීමේ ව්‍යාපෘතියකුත් අපි කරනවා. නගරයේ හදිසි ගින්නකදී අපේ ගිනි නිවන ඒකකයේ අංකය 0812 224 444 ට අමතන්න පුළුවන්.
Q නගර නිර්මාණය ගැන සඳහන් කළොත්?
නගර නිර්මාණයේදී අපේ පෞරාණික සංස්කෘතික නිර්මාණයන්ට අනුව ඉදිකිරීම් කිරීමට ලෝක උරුම නගරයක් ලෙස අපට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ සඳහා උපකාර කිරීම සහ උපදේශයන් අපි සපයනවා. පූජා භූමි කටයුත්ත අපට අදාළ නැහැ.
Q සේවක සුභසාධනය පැත්තෙන්?
සේවක මණ්ඩල කළමනාකරණයෙන් අපි විශාල සතුටක් ලබනවා. සියලුම සේවකයන් සඳහා ජනවාරි 01 වැනිදා භෝජන සංග්‍රහයක් පවත්වනවා. එහිදී සුළු සේවකයන්ගේ හදිසි විපතකදී ඔවුන්ගේ මරණ සදහා උදව් කරනවා. අසරණවූ පවුල් සඳහා නිවාස අවශ්‍යතා ආදියත්, පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය පිළිබඳවත් අපි උදව් කරනවා. වසරකට වරක් ඒ අයට වියළි ආහාර පරිත්‍යාග කරනවා. ණය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් කර දී ඔවුන්ට ආර්ථික වශයෙන් ධෛර්යයක් වෙනවා.
Q ඔබට අදාළ ප්‍රතිපාදන සොයාගන්නේ?
අවශ්‍ය ප්‍රතිපාදන අපි විවිධ ව්‍යාපෘති මගින් උපයාගන්නවා. අපේ උත්සාහය ජනතාවට බදු බර නොපටවා මේ කටයුතු කරගෙන යන්නයි, ජනතාව අතර අපේ අවිශ්වාසය තහවුරු කරගන්නයි. අපි නොමිලයේ සපයන සේවා සඳහා අපේ ව්‍යාපෘති මගින් මුදල් සොයාගන්නවා මිස කිසිම අවස්ථාවක ගත වූ කාලයේ බදුබර ජනතාව පිට පවරන්නට කටයුතු කළේ නැහැ. ඒකත් අපේ ජයග්‍රහණයක්.
Q මේ ජයග්‍රහණය පසුපස තිබුණු බලය කුමක්ද?
ප්‍රධානතම දේ අපට දැක්මක් සහ සැලස්මක් තිබුණා. අපි ඒ අනුව අපේ දර්ශනයට අනුව කටයුතු මෙහෙයවීම කළා. මම හිතන්නේ ජයග්‍රහණය තියෙන්නෙ ඉලක්ක සහ අභියෝග දිනාගැනීම තුළයි. එතෙන්ට ළඟාවීමට තියෙන එකම දේ සමස්ත කාර්යමණ්ඩලය ඒ ඉලක්ක කරා යොමු කරවීමයි. එතෙන්දි එකම කණ්ඩායමක් හැටියට, එකම ආයතනයක් සහ එකම පිරිසක් හැටියට අපේ ඉලක්කය කරා හැමදෙනාම ගොනු වුණා. ඒ ගොනුවීම නිසා මේ ජයග්‍රහණය අපට ලබාගත හැකි වුණා. අලුත් ව්‍යාපෘති නිර්මාණය කළා.
Q ඔබ කියන කණ්ඩායම් ශක්තිය පැහැදිලි කළොත් ?
විශේෂයෙන්ම කියන්න ඕනෑ. දේශපාලන බලාධිකාරිය කියන එකේ පක්ෂ වශයෙන් වෙනස් වුවද අදහස් යෝජනා සහ තීරණ ක්‍රියාත්මක කිරීමේදී නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, නාගරික මන්ත්‍රීතුමන්ලා එක් අරමුණක රැඳී පක්ෂ භේදයෙන් තොරව ජාතික අවශ්‍යතාවක් ලෙස කටයුතු කරමින් සහයෝගය දුන්නා. ඒ අයට මේ අවස්ථාවේ ප්රණමය පුද කළ යුතුයි. ඒ වගේම අවශ්‍ය රාජ්‍ය සම්බන්ධීකරණයේදී ආණ්ඩුකාරතුමිය, මහ ඇමතිතුමා, පළාත් පාලන ලේකම්තුමා, කොමසාරිස්තුමා අපට අවශ්‍ය දේ සොයාබලා දිරිමත් කළා.
Q ඉදිරි වෙනත් අපේක්ෂා?
ප්‍රධාන ගැටලුලින් එකක් වාහන තදබදයයි. ඒ සඳහා විධිමත් සැලසුම් පිළිබඳ මේ අවස්ථාවේත් සංවාදයක් පවතිනවා. ලෝක බැංකු සහ මධ්‍යම රජය යටතේ ප්‍රතිපාදන ලැබීමට නියමිතයි. මෙගාපොලිස් ප්‍රතිපාදන යටතේ ප්‍රධාන අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන සැපයෙනවා. අනික අපේ ආයතනය පැත්තෙන් නියෝජ්‍ය නාගරික කොමසාරිස්තුමියත්, නාගරික ලේකම්ලා, විවිධ අංශ ප්‍රධානීන්ගේ සිට සුළු සේවකයා දක්වාම එක් අයෙකු ලෙස මේ ඉලක්ක වෙත ළඟාවීමට කණ්ඩායමක් ලෙස කටයුතු කළා. අපේ මීළඟ බලාපොරොත්තුව තවදුරටත් ලද අත්දැකීම් සමග සැලසුම් සහගතව ලැබූ ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් නගර සභාවේ දර්ශනය අනුව ඉදිරියට යාමයි.
Q ඔබ ජනතාව සමග සම්බන්ධීකරණය වන්නේ කොහොමද?
කාර්යමණ්ඩලය නිරතුරුවම සුහද ආචාරශීලී සේවයක් පවත්වනවා. අපි පැය 24 ම සක්‍රියයි. යම් ගැටලුවක් චෝදනාවක් තිබුණොත් මට පෞද්ගලිකව කතා කරන්න. උදේ 7.00 සිට රාත්‍රී 7.00 දක්වා 0717 810 990 දුරකථනයෙන් මා අමතන්න.