සහල් මිල ගැන ඇමති හැරිසන් කතා කරයි
සහල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබියදී රජය සතු වී තොග අඩු මිලට විකුණා දමමින් ඇතැයි ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල වෙමින් තිබේ. මීට අමතරව ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවටද කතාබහක් ඇති වී ඇත. මේ පිළිබඳ 'අද' ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා සමග කතාබහක නිරත විය.
Q රටේ සම්පත් විකුණා දමමින් සිටින බවට ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා. මෙය සාධාරණ චෝදනාවක්ද?
මෙතන විකුණාගෙන කෑමක් නොවෙයි සිදුවෙන්නේ. පසුගිය කාලයේ රාජ්‍ය ආයතන තුළ කරපු කිසිම වැඩක් සැලසුමකට අනුව සිදු කළේ නැහැ. මේ නිසා ඒවායේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ වර්තමාන ආණ්ඩුවට. එකක් තමයි පසුගිය ආණ්ඩුව කාලයේ ගිනි පොළියට ගත්ත ණය. ඒ වගේම ඒවා ගෙවන්න කිසිම සැලැස්මක් තිබුණෙ නැහැ. දැන් ඇති වී තිබෙන ප්‍රශ්නවලට මූලික වුණේ මේවා. මොකද හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ හදන්න වගේම වෙනත් වැඩ සඳහා ගත්ත ණයත් රටේ ජනතාවට දරන්න පුළුවන් දේවල් නොවෙයි. ඒ නිසා තමයි මේ වගේ දේවල්වලට මුහුණදෙන්න සිදුවෙලා තියෙන්නේ. ඒත් අපි රාජ්‍ය දේපොළ විකුණාදැමීමක් කරන්නේ නැහැ. ඒවා නඟා සිටුවන්න තමයි අපි වැඩ කටයුතු කරන්නේ.
Q පළාත් පාලන මැතිවරණය කල්දමන්නේ ආණ්ඩුවද?
මැතිවරණ කල්දමන්න ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැහැ. පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී කමිටුවක් පත් කළා. ඒ කමිටුව තමයි තියෙන ක්‍රම‘වේදය වෙනස් කරන්න යෝජනා කළේ. එතුමාලා යෝජනා කරලා තිබුණා පාර්ලිමේන්තු මැතිවරණය පවා වෙනස් විය යුතුයි කියලා. ඒ අනුව තමයි පසුගිය ආණ්ඩු කාලයේ බැසිල් රාජපක්ෂ මහතා කමිටුවක් දාලා ඒ හරහා පළාත් පාලන මැතිවරණයට සීමා නිර්ණයන් සිදුකළේ. ඒ සීමා නිර්ණයන්වල වැරදි ක්‍රම‘වේදයක් තිබුණා. මේ නිසා අදාළ ක්‍රම‘වේදය නිවැරදිව සකස් කරන්න කියලා යළිත් කමිටුවක් පත් කළා. මෙම කමිටුවේ තීන්දු තීරණ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරලා තමයි ගන්න තියෙන්නේ. මේ නිසා එම කටයුතු සිදුවෙන්න යම් කාලයක් ගතවෙලා තියෙනවා. මේකට ආණ්ඩුව සම්බන්ධ නැහැ.
Q මේක වැඩ බැරි ආණ්ඩුවක් කියලා විපක්ෂය පක්ෂ චෝදනා කරනවා නේද?
ආණ්ඩුව පත්වෙලා වසර දෙකයි තාම ගතවෙලා තියෙන්නේ. මේ අවුරුදු දෙකෙන් එකක්, ඒ කියන්නෙ පළමු අවුරුද්ද අභියෝගාත්මක එකක් වුණා. මොකද කිසිම වැඩ කටයුත්තකට ක්‍රමවේදයක් තිබුණෙ නැහැ. උදාහරණයක් ලෙස කියනවා නම්, පාරවල් හදන්න කොන්ත්‍රාත් දීලා තිබුණෙ කට වචනයට. මේ නිසා ඒවායේ ප්‍රමිතිය හා ක්‍රම‘වේදය පිළිබඳ ගැටලු තිබුණි. තවත් උදාහරණයක් කියන්නම්, උමා ඔය ගැටලුවත් ඔය වගේ එකක්. මේ නිසා අද වනවිට ප්‍රශ්න රාශියක් ඇතිවෙලා තියෙනවා. චීන වරාය නගරය ඉදිකිරිමේදීත් එහෙමයි. මේ නිසා එම ගැටලු විසඳාගන්න සිදුවුණා. දැන් ඒ ගැටලු විසඳාගෙන යනවා. අපි හිතනවා, මේ අවුරුද්දේ ඉඳලා වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වේවි කියලා.
Q විකල්ප දේශපාලන පක්ෂ ඇතිවීම ආණ්ඩුවට අභියෝගයක් වගේම එක්සත් ජාතික පක්ෂයටත් අභියෝගයක් නේද?
අලුත් පක්ෂ හැදෙන්න පුළුවන්, තියෙන පක්ෂ බෙදෙන්න පුළුවන්. ඒ කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂය ලෙස අපට අභියෝගයක් නොවෙයි. අලුත් කණ්ඩායම් බිහිවීම සිදුවෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම් වෙන්වීම මත. ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් වෙනත් කණ්ඩායම් දෙකකට බෙදිලා තියෙනවා. ඒවා අභියෝග වෙන්නේ නැහැ.
Q රජය සතු ආරක්ෂිත වී තොග ඔබේ හිතවතුන්ට කිසිදු ක්‍රම‘වේදයක් නොමැතිව ලබාදෙන බවට කතාබහක් ඇතිවෙලා තියෙනවා?
මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්. මොකද අපි රජය සතු වී තොග විකුණා දමන්නේ නියමිත ක්‍රම‘වේදයට අනුව. ඒ කියන්නෙ ටෙන්ඩර කැඳවීමෙන් ලැබුණු ඉහළම මිල ගණන් යටතේ. මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන සුදු නාඩු වී කිලෝවක් විකුණා දමන්නේ රුපියල් 43 ශත 67 ට, රතු නාඩු වී කිලෝවක් රුපියල් 43 යි. සම්බා සුදු වී කිලෝවක් 49 යි, රතු සම්බා වී රුපියල් 48 ශත 50 යි. කිරි සම්බා වී කිලෝවක් රුපියල් 63 ශත 50 යි.
කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තාම සුදු නාඩු වී කිලෝවක් රුපියල් 43 ශත 67 යි. රතු නාඩු වී කිලෝවක් රුපියල් 41 ශත 50 යි, සුදු සම්බා වී කිලෝවක් රුපියල් 48 ශත 01 යි, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 62 ශත 08 යි.
මඩකලපුව දිස්ත්‍රික්කය ගත්තම සුදු නාඩු වී කිලෝවක් 43 ශත 27 යි, රතු නාඩු වී කිලෝවක් 41 ශත 27 යි, සුදු සම්බා වී කිලෝවක් රුපියල් 48 ශත 01 යි, රතු සම්බා වී කිලෝවක් රුපියල් 46 ශත 50 යි, කිරි සම්බා වී කිලෝවක් රුපියල් 62 ශත 08යි.හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තාම සුදු නාඩු වී කිලෝවක් රුපියල් 42 ශත 20 යි, රතු නාඩු වී කිලෝවක් රුපියල් 41 යි, සුදු සම්බා වී කිලෝවක් රුපියල් 45 ශත 25 යි, රතු සම්බා වී කිලෝවක් රුපියල් 45 ශත 50 යි, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 57 ශත 50 යි.අම්පාර දිස්ත්‍රික්කය ගත්තම සුදු නාඩු වී කිලෝවක් විකුණා දමන්නේ රුපියල් 43 ශත 60 ට, රතු නාඩු වී කිලෝවක් රුපියල් 43 ශත 15 ට, සුදු සම්බා වී කිලෝවක් රුපියල් 48 ශත 01කට, රතු සම්බා වී කිලෝවක් 48 ශත 01 යි. රතු සම්බා වී කිලෝවක් 48 ශත 25 ට. කීරි සම්බා වී කිලෝවක් රුපියල් 62 ශත 08 යි.
මේ ආකාරයට දිස්ත්‍රික්ක 19 ක ගබඩාවල තියෙන වී තොග ටෙන්ඩර කැඳවීමෙන් පසු ලැබුණු ඉහළම මිල ගණන් යටතේ විකුණා දමනවා. හැබැයි පසුගිය ආණ්ඩුව රජය සතුව තිබූ වී තොග විකුණා දැමීමේදී මෙවැනි ක්‍රියාදාමයන් සිදු කළේ නැහැ. ඔවුන්ට හිතුණු කෙනාට හිතූ ගාණට වී තොග විකුණා දැමුවා.
Q ඉදිරියේදී එන බව කියන වියළි කාලගුණයේදී ඇතිවිය හැකි සහල් හිඟයට සූදානම්ද?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට මේ කන්නයේත්, පොදුවේ මේ වසරේදීත්, ලබන වසරේදීත් වර්ෂාවේ හිඟතාවක් ඇතිවෙන්න පුළුවන්. මේ නිසා ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සකස් කරගන්න සහල්වලට දීර්ඝකාලීන විසඳුමක් අවශ්‍යයි. මේ නිසා කැබිනට් මණ්ඩලය විසින් සහල් හිඟයක් ඇති නොවෙන්න සහ සහල් මිල පාලනය කිරීම පිළිබඳ කරුණු සොයා බලන්න කමිටුවක් පත් කළා. මෙම කමිටුවේ සභාපති ලෙස අමාත්‍ය සරත් අමුණුගම මහතා පත් කළා. ඉතිරි සාමාජිකයන් ලෙස කෘෂිකර්ම ඇමතිතුමා, මම, අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිතුමා, මුදල් ඇමතිතුමා, මලික් ඇමතිතුමා, රිෂාඩ් ඇමතිතුමා පත් කළා. මේ අනුව මෙම කමිටුව රැස් වී ගතයුතු තීන්දු තීරණ පිළිබඳ තීරණය කරලා අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරනවා. මෙය ජනාධිපතිතුමා විසින් සිදුකළ කටයුත්තක්.
Q වී විකුණා දැමීම සඳහා අනුගමනය කළ ටෙන්ඩර පටිපාටිය තුළ දූෂණ වංචා සිදු වුණාද?
මීට පෙර පැවැති ක්‍රම‘වේදයට අනුව එක් පුද්ගලයෙකු මිල ගණන් කිහිපයක් යටතේ ටෙන්ඩර් ඉදිරිපත් කළා. මෙතනදි ඉහළම මිලක් ඉදිරිපත් කරන අය මිලදීගන්න බලාපොරොත්තු වන වී ප්‍රමාණය ලෙස සුළු ප්‍රමාණයක් සඳහන් කරලා තිබුණා. ඒ වගේම සමහර අවස්ථාවල ඉහළ මිල ඉදිරිපත් කළ ටෙන්ඩරයට වී මිලදී ගත්තේ නැහැ. එහෙම වෙලාවට සිදුවන්නේ ඊළඟට මිල ගණන් ඉදිරිපත් කළ කෙනාට වී තොග ලබාදීම. ඒත් මෙවර ඒ ක්‍රමය නැති කරන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළා.
මේ අනුව කමිටුව තීරණයක් අරගත්තා වී මිලදී ගන්න කැමැති අය ලියාපදිංචි වෙන්න කියලා. ඒ අනුව වී අලෙවි මණ්ඩලය යටතේ 307 දෙනෙක් ලියාපදිංචි වුණා. ඒ කැමති සියලුම දෙනාටම කිව්වා ඉහළ මිල ගණන් ඉදිරිපත් කරන්න කියලා. මේ අනුව වෙළෙඳ පොළේ ගැනුම් මිලට වැඩිය මිල ගණන් යටතේත් සමහර දිස්ත්‍රික්කවල මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණා. සමහර දිස්ත්‍රිකක්වල වෙළෙඳ පොළ ගැනුම් මිලට අඩුවෙන් මිල ගණන් ඉදිරිපත් වුණා. ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව විසින් ඉහළම ගැනුම් මිල ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන්ට ඒ වී තොග ලබාදීමට තීරණය කළා. මේ අනුව ඒ අයගෙන් මුදල් ලබාගෙන වී තොග නිකුත් කරමින් සිටිනවා.
Q ගැනුම්කරුවන් තෝරාගැනීමේදී බොහෝ පිරිසක් කිසිදු හේතුවක් නොමැතිව ඉවත් කළා කියලත් සඳහන් වෙනවා?
ටෙන්ඩර් ඉදිරිපත් වුණාට පසු අපි ඒ අය ගැන වෙන වෙනම සොයා බැලුවා. එතනදි අපිට පෙනී ගියා සමහර පිරිස් මීට පෙර වී තොග අරගෙන සල්ලි ගෙවලා නැති බව. ඒ වගේම ඔවුන් අසාදුගත ලේඛනයට ඇතුළත් කරලා තිබුණා. තවත් වැරදි නිසා අසාදුගත ලේඛනගතව සිටි අය හිටියා. ඒ අය අපි ඉවත් කළා. එතනදි කිසි කෙනෙකුට අසාධාරණයක් සිදු කළේ නැහැ.
Q මෙම ක්‍රමවේදය යටතේ කොතරම් පිරිසකට වී තොග නිකුත් කරනවද?
දිස්ත්‍රික්ක 19 ක ගබඩා තුළින් වී තොග නිකුත් කරනවා. මේ අනුව සුදුසුකම් සහිත ගැනුම්කරුවන් 157 දෙනෙකු අපි තෝරාගෙන සිටිනවා. මේ සියලුම දෙනාම මෝල් හිමියන්. ඒ පිළිබඳ අප සතුව සියලුම තොරතුරු තියෙනවා. මෝල් හිමියන් නොවන කිසි කෙනෙකුට වී තොග නිකුත් කරන්නෙත් නැහැ. මෝල් හිමියෙකු නොවන කෙනෙකු වී තොග ගන්නවා නම් ඒක ඕන කෙනෙක් ඔප්පු කරලා පෙන්නන්න කියලා මම කියනවා.
Q අඩු මිලට සහල් දෙන්න වී තොග නිකුත් කළත්, එය නිසියාකාරව සිදු නොවන බවට වාර්තා වෙනවා?
මේ වී තොග නිකුත් කළේ ජනතාවට අඩු මිලට සහල් ලබාදෙන්න කියලා. ඒත් මෝල් හිමියන් කිහිප දෙනෙකු තමන්ගේ කොටස වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ බවට තොරතුරු ලැබුණා. ඒ පිළිබඳ සොයා බැලුවා. මේ අනුව එවැනි පුද්ගලයන් දෙතුන් දෙනෙකු හඳුනාගත්තා. ඒ අයට වී තොග නිකුත් කිරීම නවතා දැමුවා.වී තොග නිකුත් කිරීමේදී දේශපාලන ඥාති සංග්‍රහ සිදු වූ බවට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සඳහන් කරනවා නේද?
කිසිසේත්ම එවැනි දෙයක් සිදු වුණේ නැහැ. ඒත් රාජපක්ෂ ආණ්ඩු කාලේ ඥාති සංග්‍රහ සිදුවුණා. හැබැයි මේ වනවිට රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දීලා තියෙන්නේ සාධාරණාව කටයුතු කරන්න කියලා. ඒ දේ තමයි සිදු වෙන්නේ.
Q ඩඩ්ලි සිරිසේන මහතාට වැඩිපුර වී තොග නිකුත් කළේ කොහොමද?
ඒක සිදුවුණේ මෙහෙමයි. මම මුලින්ම කිව්වනේ වී තොග නිකුත් කිරීමට ටෙන්ඩර් කැඳවීම සිදුකළා කියලා. මේ අනුව අරලිය සහල් සමාගම ලෙස ඔවුන් වී මිලදීගැනීමට මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණා. එම මිල ගණන් ඉතා ඉහළ අගයක්. මේ නිසා ඔවුන්ට වී මෙට්‍රික් ටොන් 17,000 ක් හිමි වුණා. ඒක තමයි සිදුවුණ ක්‍රම‘වේදය.
Q ඔහු පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම යොදා වී මිලදීගෙන තිබෙනවා නේද?
මෙතනදී සිදුවුණේ අදාළ වී තොග බාරගන්නා 07 දෙනෙකුගේ නම ඇතුළත් ලේඛනයක් ඉදිරිපත් වීම පමණයි. එය සමාගමක් ලෙස තහවුරු කරපු නම් ලැයිස්තුවක්.රජය සතු වී තොග සහල් බවට පත් කර අඩුමිලට සහල් විකිණීමේ හැකියාවක් නැද්ද?කුඩා මෝල් හිමියන්ට වී තොග ලබාදීලා ඔය දේ කරන්න පුළුවන් කියලා යම් යම් අය කියනවා. මේ ආකාරයට පසුගිය කාලයේ මෝල් හිමියන් 138 දෙනෙකුට වී තොග දුන්නා සතොසට සහල් දෙන්න කියලා. ඒත් නැවත සහල් ලබාදුන්නේ මෝල් හිමියන් 20 ගාණක් වගේ ප්‍රමාණයක්. අනිත් අය හාල් විකුණුවා. මේ අනුව මෙවැනි ක්‍රියා කළ අයට නඩු දැම්මා. තවත් සමහර අයගෙන් මුදල් අය කරගත්තා. ඕක තමයි ඇත්තම තත්ත්වය. එහෙම තියෙද්දි නැවත ඒකම කරන්න පුළුවන්ද කියන කාරණය තියෙනවා.
Q රජය සතුව කොතරම් වී තොග තිබෙනවාද?
රජය සතුව වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ දසදහසකට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රමාණ‘යෙන් මෙට්‍රික් ටොන් 50,000 ක් ආරක්ෂිත තොග වශයෙන් තබාගෙන ඉතිරි ප්‍රමණය අලෙවි කරනවා. වී වර්ග ගත්තොත් සුදු නාඩු වී මෙට්‍රික් ටොන් 73,901 ක් තියෙනවා. රතු නාඩු තියෙනවා මෙට්‍රික් ටොන් 68,875 ක්, සුදු සම්බා මෙට්‍රික් ටොන් 5040 ක්, රතු සම්බා වී මෙට්‍රික් ටොන් 5068 ක් සහ කීරි සම්බා වී මෙට්‍රික් ටොන් 5545 ක් තියෙනවා.
Q සහල් මිල පාලනය කිරීම සඳහා කළහැක්කේ කුමක්ද?
සහල් ආනයනය කරන්න කටයුතු කරනවා. මේ අනුව ඉදිරි දෙසතිය තුළදී නාඩු සහ සම්බා සහල් ගෙන්වීමට කටයුතු කරනවා. ඉන්පසුව සහල්වලට පාලන මිලක් යෙදවීමට කටයුතු කරනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
