හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යෞවනියක් ලෙස පියාගෙන් හිස්වූ දේශපාලනය තුළ ජනතාවට අඩුවූ දේශපාලන ආරක්ෂකයෙකුගේ අඩුව පුරවන්නට සැරසෙන්නීය. මාධ්‍ය තුළ ඇය වටා ගෙතුණු විවිධ පුවත්වලින් පසු, නූතනම පුවත වූයේ 'හිරුණිකා සන්ධානයේ මැද කොළඹ සම සංවිධායිකාව ලෙස පත්වීම් ලබයි.' යන්නයි. මේ ඇගේ දේශපාලනයට ප්රවිශ්ට වීමට ප්‍රථම සිදුකරන හඬ අවදි කිරීමයි.
මැද කොළඹ ආසන සංවිධායකවරිය ඔබ?
ඔව්. මම මැදකොළඹ සම සංවිධායකවරිය විදිහට ජනාධිපතිතුමා පත්කළා, සන්තෝෂයි. බහුජාතික ආසනයක් හින්දා ගොඩක් හොඳ අත්දැකීමක්. ඒවගේ ලොකු ආසනයක්. මේ වගෙ පොඩි වයසින් ලැබීම ගැන හුඟක්ම සතුටුයි.
මැද කොළඹ බහුජාතික, බහු ආගමික, කලාපයක් ඉතින් ඒක අභියෝගයක් ද?
ඔව්. නමුත් ඒක මම දකින විදිහට හොඳ දෙයක්. මගෙ තාත්තාට බහුජාතීන්ට ආධාර කළා. ඔහු මුස්ලිම් පල්ලි හදලා දීලා තියෙනවා. ඔවුන් එක්ක ළඟින් සම්බන්ධකම් පවත්වපු කෙනෙක්. දෙමළ අයත් එක්ක හොඳ සම්බන්ධයක් තිබුණ කෙනෙක්. ඉතින් මට ඒක ඒ තරම්ම අභියෝගයක් නොවෙයි. අපි ඉන්නෙ ජන වර්ග ආගම් කිහිපයක් එක්ක. මම සිංහල, බෞද්ධ කියලා මට ජනතාවට සේවය නොකර ඉන්න බෑ. මම ඒ හැමෝටම ගෞරව කරනවා. ජාතිවාදය ඉස්සරහට අරන් අපිට දිනන්න බෑ. මම සියලු ජාතීන් වෙනුවෙන් ඉන්නවා. මේ හොඳ ආම්භයක්.
කොළොන්නාවෙ ඔබයි මැද කොළඹට එන්නෙ. ඉතින් නුහුරු මැද කොළඹට අලුත් නේද?
මට කොළොන්නාව අමතක කරලා නෑ. එහෙ ජනතාව තාම මාත් එක්ක ඉන්නවා. ඉතින් ජනාධිපතිතුමා මං ගැන තැබුව විශ්වාසය කඩන්නෙ නෑ. කොළොන්නාව වගේම මැද කොළඹ ජනතාවටත් මම ආදරෙයි. මම ඉපදුණෙ, හැදුණෙ, කොළොන්නාවේ. මගේ තාත්තා ඉපදුණෙ වගේම මැරුණෙත් එහෙ. මට එහෙ අමතක නෑ. මගේ තාත්තාට වගේම මටත් මැද කොළඹ ජනතාව නුහුරු නෑ. මම ආවම ජනතාව එකතු වේවි.
ජනාධිපතිතුමාව මුණගැහුණේ ?
ජනාධිපතිතුමා මුණගැහිලා පැය දෙකක් තුනක් විතර කතා කළා. එදා තමයි මම දැනගත්තෙ හිත් රිදවීම්, කෙටවීම් එකිනෙකා විසින් සිදුකරන එක. මට මගේ තාත්තා වගේම හිටපු ජනාධිපතිතුමාව තරහ කරවන්න හුඟක් දෙනා පෞද්ගලිකව උත්සාහ කරලා තිබුණා. පුංචි කාලෙ ඉඳන් මම ජනාධිපතිතුමාගේ ගෙදර, ඒ දරුවෝ එක්ක හැදුණෙ. ඒ අයගේ පවුලේ දුව වුණෙ මම. ඉතින් ජනාධිපතිතුමා එක්ක මෙවර මගේ තාත්තා ගැන මගේ නඩුව ගැන මගේ දේශපාලනය ගැන හැම දේම කිවුවා. මගේ තාත්තා වගේම දැවැන්ත චරිතයක් වුණෙ ජනාධිපතිතුමා ඒ නිසයි. මම හැම දෙයක්ම ඒ වගේ කිවුවේ. මිනිස්සු ගිහින් ජනාධිපතිතුමාට මම ගැන කියපු දේවල් ජනාධිපතිතුමා මට කිවුවා. එතුමා මට කිව්වේ, 'දුව ඔය තාත්තා වෙනුවෙන් සටන් කරන එක ප්‍රශ්නයක් නෙවෙයි කියලත්, මගේ දේශපාලනය මට කරගෙන යන්නත්' කියලා. හැම කෙනෙක් ගැනම හැම දේම කළයුතු විදිහ ගැන එතුමා මට උපදෙස් දුන්නා.
මහජන පක්ෂයට තිබුණ සම්බන්ධතාව ගැන පැහැදිලි කළොත් ?
මහජන පක්ෂයේ සාමාජිකවක් විදිහට බැඳුණාට පසුව මට ජනාධිපතිතුමා මුණගැහුණා. එතුමා මට උපදෙස් දුන්නා ඒවාගේ සුව පක්ෂයකින් තරගයට ඉදිරිපත් වෙනවට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරිපත් වෙලා සන්ධනායෙන් ඉල්ලන එක මට වාසිදායකයි කියලා. ඒවා හිතලා මේ තීරණයට ආවා.
දේශපාලනයට ආවේ මොනවගේ ගමනක් යන්නද?
ගොඩක් දෙනා දේශපාලනයට එන්නෙ ගොඩක් බලාපොරොත්තු තියන් මෙච්චරක් දුරයනවා කියලා හිතාගෙන දේශපාලනයට ආවොත්, ඒක හරියන්නේ නෑ. අපි අද දවසේ වැඩ ඉවර කරලා හෙටට සැලසුම් සැදුවොත් කවදාවත් හතිවැටෙන්නෙ නෑ. හැකියාව, කැපවීම, හා වාසනාව මතයි මම දේශපාලනය කරන්නෙ.
ඔබට දේශපාලන ජීවිතේ ආදර්ශයක් ඉන්නවාද?
ඔව් ඉන්නවා. ලංකාවේ නම් නෙවෙයි. ලංකාවේ ආදර්ශයට ගත හැකි සීමිත පිරිසක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්නෙ ජනතා නියෝජිතයෝ. ඒත් ඒ අය පත්කරලා ටික දවසකින් ජනතාවටම හිතෙනවා ඇයි අපි මේ අයව යැවුවේ කියලා. එංගලන්තේ මාග්‍රට් තැචර් වගේ අය තමයි මම අනුගමනය කරන්නේ. මේ රටේ ඒක අමාරුයි තමයි, ඒත් අමාරුවෙන් හරි මම ඒ විදිහට කෙළින් කතා කරලා ප්‍රතිපත්ති රකිනවා.
අනෙක් අතට මගේ දේශපාලන ජීවිතේ වීරයා තාත්තා. මම එයා දිහා බලාගෙනයි හැදුණේ. ඔහුගේ ප්‍රතිපත්ති මම දැක්කා. ජනාධිපතිතුමාට ආදරය කරපු විදිහ, බය නැතිව ප්‍රතිපත්ති ක්‍රියා කරපු විදිහ හැමදේම මම පුංචි කාලේ ඉඳන් දැක්කා.
ඔබ කැරලිකාර චරිතයක් කියනවා ඒ ඔබේ ඇත්ත ජීවිතයද?
මම පවුල ඇතුළේ නම් මුරණ්ඩු චරිතයක් තමයි. මගේ අම්මාට තාත්තාට මෙච්චර දරුණු චරිතයක් වෙලා නම් නෑ. ඒ කාලේ මගේ ආරක්ෂාවට තාත්තා හිටියා. තාත්තා නැති වුණාට පස්සේ වෙච්ච දේවල් එක්ක මම දැනගත්තා ගෑනු දරුවෙකුට මේ සමාජයේ ජීවත් වෙන්න හරි අමාරුයි කියලා. ඉතින් මගේ ඇඟටම මේ චරිතය කාවැදුණා. ඒ දවස්වල වුණ දේවල් හින්දයි මේ තැනට වැටුණේ.
දේශපාලනයට සුදුසුකම් මොනවාද ?
අද දේශපාලනෙ ඉන්න කාන්තාවන් හුඟක් විහිළුවක් වෙලා ඉවරයි. අපි ඉගෙන ගෙනයි ආවේ. අපි කුල්ලක් වගේ වුණානම් ජනතාවත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. අද දේශපාලනයෙ කාන්තාවන් හුඟාක් වගකීම් දරන්නට සුදුසු අය යැයි මම කියන්නෙ නෑ. මම එක පාරට ආණ්ඩුවට ආව කෙනෙක් නෙවෙයි. මගේ තාත්තා ආණ්ඩුව පක්ෂයෙ දිගටම හිටිය කෙනෙක්. ඉතින් මම දේශපාලනය කරනවා. මම හිතන්නෙ අනිවාර්යයෙන්ම චරිතවත් විය යුතුයි. බඩවියත රැකගන්න දේශපාලනයට එන එක තේරුමක් නෑ. හම්බ කිරීම දේශපාලනය නෙවෙයි. මම නම් කැමති දේශපාලකයා සමාජ සේවකයෙක් කියන්නයි. අනෙක් අතට අඩුම ගානේ උසස් පෙළවත් සමත්විය යුතුයි. අද වැඩි හරියක් ඉන්නෙ මෝඩයෝ. ඒ අය විහිළුවක්. උගත් මිනිසුන්ට මෝඩයන්ට ඡන්දය දෙන්න කැමැත්තක් ඇති වෙන්නෙ නෑ. ඒකායන බලාපොරොත්තුව විය යුත්තේ ජනතාවට සේවය කිරීමයි.
නඩුව දේශපාලනයට ගේනවද ?
නෑ. මට එහෙම වුවමනාවක් නෑ. ඒක නීතිය ඉස්සර තියෙන්නේ. මම දේශපාලනයට නඩුව ගෙනාවොත් වැරදියි. මම නීතිය ඉගෙන ගන්න කෙනෙක්. ඒ දෙක එකට ඇදගෙන අයුතු ප්‍රයෝජන ගන්න උවමනාවක් නෑ. මම මගේ දේශපාලනය වෙනම කරගෙන යනවා. සත්‍ය කවදා හෝ ජය ගන්නවා, කියන දේ මගේ හිතෙ තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා නීතියෙන් ඉටුවිය යුතු සාධාරණය නීතියෙන්ම සිදුවෙයි කියලා.
ඔබගෙත් දුමින්ද සිල්වාගෙත් ගැටුම් එකම දේශපාලන පක්ෂයක් තුළත් ඉදිරියට යාවිද?
මගේ තාත්තාගේ මරණයට හේතුවුණ පුද්ගලයා ඔහුයි කියන එක මගේ හිතෙ තියනවා. ඒක නැති වෙන්නෙ නෑ. මම ඒකට හැමදාම සටන් කරනවා. මට ඒකට දේශපාලනය අදාළ නෑ. මට දේශපාලනය තුළ ඔහුව බලපාන්නෙ නෑ. එකතැන හිටගනිද්දි ලැජ්ජා විය යුත්තෙ මම නොවෙයි ඔහුයි. මම මිනීමරලා නෑ. ගැටුම කවදා හරි දවසක ඉවර වෙන්නෙ මගේ තාත්තාට සාධාරණයක් ඉටුවුණ දවසටයි. මගේ තාත්තවයි මරලා දැම්මේ. ඒ වේදනාව තියෙන්නෙ මටයි. මම ඔහුවපෞද්ගලිකව දන්නෙත් නෑ. ඔහු මගේ ජීවිතයට එන්නෙ මගේ තාත්තා ඝාතනය කිරීමෙනුයි. ඒ වෙනකම් ප්‍රශ්නයක් තිබුණෙ නෑ.
කවදා හරි ඔබ දෙදෙනා ලෙංගතුම මිතුරන් වුණොත් ?
මං එහෙම වෙයි කියලා හිතන්නේ නෑ. ඔහු නැති කළෙ මගේ ලේ. මගේ තාත්තා මැරුවේ. දේශපාලන ඉතිහාසය තුළ ඒවගේ මිත්‍රකම් ඇති වුණාට මගේ කතාවේදී ඒක වෙනස්. මොකද ඔහු නැති කළේ මගේ තාත්තා ඒ මගේ ජීවිතේ. ඒ හින්දා එක් කවදාවත් ලෙන්ගතුකමක් වෙන්නෙ නෑ. මම බලන් ඉන්නෙ මගේ තාත්තාගේ මරණයට හේතුවුණ පුද්ගලයන්ට නීතියෙන් හෝ ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙන දවස වෙනුවෙනුයි. ඔවුන්ට ලැබිය යුතු දේ ලැබෙයි.
ඔබේ දේශපාලනයට එන්නෙ පෞද්ගලික තරහක් වෙනුවෙන් පළිගන්නද?
මම දේශපාලනයට එන්න ඕනෑ වුණෙ තාත්තා ඉන්න කාලෙ ඉඳලාමයි. කලිනුත් මැතිවරණයට මම ඉල්ලන්න හදද්දි මට තාත්තා යන්න දුන්නෙ නෑ. එතකොට වයස මදි කියලා. මටත් ඕන වුණෙ මගෙ කියලා පවුලක් හදාගෙන තව කාලෙකින් පරිණත වෙලා දේශපාලනයට එන්නයි. ඒත් තාත්තාගේ හදිසි මරණයෙන් පස්සේ ජනතාව තාත්තාගේ අඩුව පුරවන්න චරිතයක් බලාපොරොත්තු වුණ හින්දා ඒ අඩුව පුවරන්නයි මම දේශපාලනයට ආවේ. අනික මට විශාල ආසාවක් තිබුණා ජනතාව වෙනුවෙන් සේවය කරන්න. කොළොන්නාව ජනතාව යම්කිසි තත්ත්වයකට ගේන්න ආසාවක් තිබුණා. පළිගන්න ඕන නම් දේශපාලනයට එන්න ඕන නෑ. එතනින් බලය ලැබෙන නිසා සමහරු එහෙම හිතුවාම ඒ අය කළ දේවල් ඒ අයම අරගෙන යයි.
තාත්තා නැති ඔබේ ජීවිතයට දේශපාලනය තුළදී ආරක්ෂාවක් කොහෙන්ද ?
මගේ තාත්තා වටේ හිටපු ජනතාව මට ආරක්ෂාව දෙයි කියලා මම දන්නවා. ඒ හැමෝම තාම දකින්නෙ එදා දැකපු තාත්තාගේ පුංචි දුව විදිහටමයි. ඒ හැමෝම මට කතා කරන්නෙ දුව කියලා. ඒ අය මට සලකන්නේ ඒ හැමෝගේම දුව දේශපාලනයට ආවා වගේයි.
නිළියන්ගේ දේශපාලනයට පැමිණීම තුළ ඔබත් තරග කරන්නේ?
නිළියන් එන එක හොඳයි. ප්‍රසිද්ධ චරිත ආවම හොඳ වුණත් ජනතාවයි ඒක තීරණය කළ යුත්තේ. ජනප්‍රිය කාලේ අනන්තවත් නිළියෝ දේශපාලනයට ඇවිත් නිකම්ම නමක් කැත කරගෙන ගියා. අපිටම ලැජ්ජයි. ඇයි මේ අයව යැවුවේ කියලා. ඔවුන්ගේ කතා ඇහුවාම සියලුම නළු නිළියෝ දේශපාලනෙට එද්දී දේශපාලනය කරන අයට රඟපාන්න වෙයිද දන්නෙ නෑ. මොන ක්ෂේත්රයේ ඉඳලා ආවත් දේශපාලනයට ආවමත් කරන්නෙ ඒ කාලේ කළ දේවල්මයි. ඇත්තටම ඇවිත් ජනතා සේවය කළානම් කමක්නෑ. හැම පක්ෂයෙන්ම දේශපාලනයට නළු නිළියොයි ක්‍රීඩකයොයි, තරුයි දැම්මම මිනිස්සුන්ට හරි අමාරුයි ඔවුන්ව දේශපාලනඥයො විදිහට දකින්න. මට ඒක අභියෝගයක් නම් නොවෙයි.
ඔබ ජයග්‍රහණයට සූදානම්ද?
ඔව්. අභියෝග ගොඩක් තියේවි. පරණ හා අලුත් දෙගොල්ලන්ගේම තියන අභියෝගය ආශීර්වාදයක් කරගෙන ඉස්සරහට යනවා.