Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
සඳුදා, අඟහරුවාදා හා බදාදා දිනයන්හිදී ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව විවාදයට ගැනිණි.ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවන් පාර්ලිමේන්තු පාරේ පැවැත්වුණු අතර, ඒ හේතුවෙන් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමටද බාධා විය.
ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ විවාදය ආරම්භ කළ මොහොතේම එය උණුසුම් වූයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ රීති ප්‍රශ්නයක් හේතුවෙනි.
'සර් රීති ප්‍රශ්නයක්'
බන්ධුල එසේ කථානායකවරයාට පැවසූ අතර,
'රීති ප්රශ්නය මොකද්ද බන්ධුල මන්ත්‍රීතුමා?' යැයි කථානායක කරු එයට පිළිතුරු දෙමින් විමසුවේය.
'කථානායකතුමනි වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒකාබද්ධ විපකෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නවා. ලංකා ඉතිහාසයේ කිසිම දවසක මන්ත්‍රීවරුන්ට එන්න බැරිවෙන්න පාර්ලිමේන්තු පාර වහල නැහැ. පාර වැහුවම උඩින්ද එන්නේ. ඔබතුමා මීට වඩා බලන්න ඕන. පාර වහල පුළුවන්ද ව්‍යස්ථාව සම්මත කරන්න'
මේ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ බොහෝදෙනා විවිධ අදහස් දැක්වීම හේතුවෙන් ඇතිවූ ඝෝෂාකාරීත්වය නිසා කථානායක කරු උස් හඬින් සභාව ඇමතීය.
'හලෝ පොඩ්ඩක් ඉන්න. මේක නවත්වන්න මට ඉඩදෙන්න. දෙදාහක් විතර ජනතාවක් එකතුවෙලා පාර අවහිර කරගෙන ඉන්නවා කියල පොලීසියෙන් මට දැන්වුවා. එහෙම වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිම කෙනෙකුට බාධාවක් නැතිව එන්න අවස්ථාව තිබෙන බව පොලීසිය මට දැන්නුවා'
බන්ධුලගේ කතාවෙන් පසුව ඇමති හරීන් ප්‍රනාන්දුද අදහස් දැක්වීමට එක්විය.'බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා අපේ වරප්‍රසාදයකුත් කඩ කරනවා. ඒ පාරෙන්ම තමයි අපිත් පාර්ලිමේන්තුවට ආවේ. ව්‍යවස්ථා සංශෝධනයට කතා කරනකොට මන්ත්‍රීවරුන්ට එන්න දෙන්නේ නැහැ කියල කියනවා. අපිත් ආවේ මහ පාරේ. මේ මාධ්‍යයට කතා කරනවා බොරුවට ටීවී එකේ පේන්න. මහ බොරුකාරයෙක්, මහ පචයෙක්'
හරීන් එසේ කියා අසුන්ගන්නා විට මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනද එයට රීතී ප්රශ්නය මතු කළේය. 'පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක්ට පැමිණීම වරප්‍රසාද අනුව තිබෙන අයිතියක්. නිදහසේ පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව උදාකර දීම ඔබතුමාගේ වගකීම'
'මම පූර්ණ ආරක්ෂාව ලබාදීලා තිබෙනවා. නමුත් දෙදාහක් විතර එකපාර එන්න හදද්දි පොලීසියට ඒක නවත්වන්න සිදුවෙනවා. පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව තිබෙනවා, නමුත් පාර්ලිමේන්තුවට කඩා පනින්න අවස්ථාව දෙන්නේ නැහැ'
ව්‍යවස්ථා මණ්ඩලයේ විවාදය අඟහරුවාදා දින ආරම්භ කළේ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න විසිනි. ව්‍යවස්ථා ඉතිහාසය පිළිබඳ ජයම්පති කතාකරන විට ඒකාබද්ධ විපක්ෂය ඔහුට බාධා කරන්නට විය. ප්‍රසන්න රණවීර, කෙහෙළිය රඹුක්වැල්ල, දිනේෂ් ගුණවර්ධන මෙන්ම පසුව ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙක්ද බාධා කරන්නට විය. නමුත් ජයම්පති දිගින් දිගටම කතා කරගෙන ගියේය. එවිට කථානායක ඒකාබද්ධයට පැවසුවේ,
'සභාවේ හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙනවා. ජයම්පති මන්ත්‍රීතුමාට එතුමාගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙන්න. කතා කිරීමේ අයිතිය ලබාදීම මගේ යුතුකමක්. සෑම මන්ත්‍රීවරයෙකුටම අවස්ථාව ලබාදී තිබෙනවා. බාධා කරන්න එපා. ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක. අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න'
අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී උණුසුම්ම කතාව පැවැත්වූයේ රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා විසිනි. 2000 ගෙන ආ ව්‍යවස්ථා කෙටුම්පත සමග සංසන්දනය කරමින් ඩිලාන් පෙරේරා අදහස් දැක්වීය.
'2000 මේ පාර්ලිමේන්තුවට චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිතුමිය ඉදිරිපත් කරපු, ජීඑල් පීරීස් ඇමතිතුමා අධිකරණ හා ව්‍යවස්ථා ඇමතිතුමා ලෙස හිටපු, මම නියෝජ්‍ය ඇමති ලෙස හිටපු කාලේ ඒ ව්‍යවස්ථාව අරගෙන අපි ලංකාව පුරාම ගියා.
වර්තමාන ව්‍යවස්ථාවට වඩා මම ඒ ව්‍යවස්ථාවට කැමතියි. නමුත් මගේ පක්ෂයේ කැමැත්ත අද දිනයේ ඒකට නැහැ. එදා ඒ ව්‍යවස්ථාවට පාර්ලිමේන්තු විවාදයක් තිබුණා. ඒක එක්සත් ජාතික පක්ෂය විසින් ගිනි තිබ්බා. මම ඊට පස්සේ ඒ ගැන පොතක් ලිව්වා. ඒකට පෙරවදන ලිව්වේ ජීඑල් පීරිස් ඇමතිතුමා. ඒ පෙරවදනේ කොටසක් මම කියවන්නම්.
'එක්සත් හා ස්වාධීන ජනරජයක් තුළ සඵල ලෙස සහ යථාර්ථන නිරූපිත ලෙස බලය පැවරීම කොටගත් රාජ්‍ය සහ ස්වාධීන පාලනයන් පිළිගැනීම නව ව්‍යවස්ථාවෙන් කළ යුතුයි කියා පැහැදිලිවම තිබෙනවා'2000 දී ගෙන ආපු ව්‍යවස්ථාවේ ඒකීය කියන වචනය නැහැ. එහි තිබෙන්නේ ශ්‍රී ලංකා ජනරජය එකම නිදහස් ස්වාධීන රාජ්‍යයකි. එය මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් ආයතනවලින් සමන්විත වන්නේය කියායි. ඒ වගේම එහි බුද්ධාගම ගැන තිබෙන වගන්තිය අද තිබෙන වගන්තිය නොවෙයි.
වෙන වගන්තියක්. එදා මමයි ඩලසුයි මංගල ඇමතිතුමා සමග රට වටේ ගියේ ඒකීය කියන වචනය නැති බුද්ධාගම කියන වචනයක් නැති එක්සත් රටක් වෙනුවෙන්. මහින්දාන්ද ඇමතිතුමාලා එදා පෙනී සිටියේ එක්සත් රටක් වෙනුවෙන්. එහෙම පෙනී හිටපු අයට අද බෝම්බ ගහන අයගේ කතාවලට යටවෙන්නේ නැතිව ඉන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ජනතාව ඉන්න පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියලා කියන්න කියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය බෙදන්න තව තවත් කැමති වෙනවා.
බෝම්බ ගහන එවුන්ට බැහැ අපිව බය කරන්න. දෙමළ අහිංසක දරුවෝ මරනවා දැකලා සන්තෝෂ වුණු කාලකණ්ණි එක්ක තමයි අද ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන්නේ. විමල් මොකද කමල් මොකද. උන් දෙන්නම සත්තු . උන් දෙන්නගේ වෙනසක් මට පෙනෙන්නේ නැහැ. එහෙම සත්තු එක්ක දේශපාලනය කරනවා නම් උන් මේකට බෝම්බ ගහනවා කියල කියනවා නම් අපි ඒක පරද්දන්න ඕන. අපි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ඕන'
බ්‍රහස්පතින්දා කොළඹදී පැවති නිර්මාංශ සමාජයක් තේමා කරගත් සත්ත්ව අවිහිංසාව පිළිබඳ ආසියානු බෞද්ධ මහා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ කථානායක කරු ජයසූරිය මහතා 'නිර්මාංශික ආහාරයකින් ලැබෙන ආධ්‍යාත්මික මෙන්ම ශාරීරික සුවය ගැන සඳහන් කරමින් අනාවරණය කළේ තම පවුලේ බිරිඳ, දියණියන් මෙන්ම මිනිබිරියන් පමණක් නොව බෑනණුවන් වන ඇමති නවීන් දිසානායක මහතාද මුළුමනින්ම නිර්මාංශ ආහාර අනුභව කරන්නන් බවය.
දෙස් විදෙස් නියෝජිතයන් 500ක් පමණ එක් වූ මෙම මහා සමුළුව සඳහා ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කොටගත් 'ධම්ම වොයිස් ෆෝ ඇනිමල්' ජාත්‍යන්තර සංවිධානය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් 'අනගාරික ධර්මපාල පරෝපකාර පදනම' සත්කාරකත්වය හොබවනු ලැබීය. 2016 වසර සඳහා වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව පසුගිය සතියේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින් කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.
ඉතා කාර්යක්ෂම ලෙස සිය කාර්යභාරය ඉටුකළ විගණකාධිපතිවරයා ප්රමුඛ කාර්යමණ්ඩලය කථානායකවරයාගේ පැසසුමට ලක්විය.ජනතා මුදල් රටට උපරිම ඵලදායීතාවක් සැලසෙන ලෙස දූෂණය, නාස්තියෙන් තොරව ජනතා යහපත පිණිසම යෙදවීම තහවුරු කිරීම ජාතික යුතුකමක් මෙන්ම මහත් පුණ්‍යකර්මයක් බවද එම යුතුකම හෘදසාක්ෂියට එකඟව ඉටුකිරීම සේවයෙන් විශ්‍රාම ගිය දිනක ඉමහත් මානසික සුවයක් සලසනු ඇති බවද කථානායකවරයා විගණකාධිපති ඇතුළු නිලධාරීන් අමතමින් පැවසීය.
මේ අතර, ගෙවී ගිය සතියේ පාර්ලිමේන්තුව කෙතරම් කාර්යබහුල වුවද කථානායකවරයා ඉඩ ලද ඇසිල්ලෙන් කොළඹ මහ රෝහල බලා ගියේ දේශපාලන ජීවිතයේදී තමාට බොහෝ අවස්ථාවන්හිදී මගපෙන්වමින් ආශිර්වාද කළ මීටියාගොඩ ගුණරත්න නායක හිමියන් ඉතා බරපතළ ලෙස රෝගාතුරව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සැල වූ නිසාය.
සිහිසුන්ව සිටි නායක හිමියන් දෙස නිහඬවම සෑහෙන වේලාවක් බලා සිටි කථානායකවරයාට තත්ත්වයේ බරපතළකම මැනවින් වැටහී තිබිණි. දැඩිසත්කාර ඒකකයෙන් පිටතට පැමිණි කථානායකවරයා පැවසුවේ මීටියාගොඩ හාමුදුරුවෝ මේ රටේ ආගමික සේවාව පමණක් නෙමෙයි දේශපාලන ඉතිහාසයේ නොමැකෙන පරිච්ඡේදයක් කියාය.කෙසේවෙතත් බදාදා පෙරවරුවේ මීටියාගොඩ ගුණරතන නාහිමියන් අපවත් වී වදාළ බවට වූ කනගාටුදායක පුවත සැල විය.
ජනාධිපති මෛත්‍රීගේ කටාර් සංචාරය පසුගිය සතියේ යෙදී තිබුණ අතර, කටාර් සංචාරය සඳහා ජනාධිපති මෛත්‍රී සමග ඇමති ෆයිසර් සහ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාද, තවත් ඇමතිවරුද එක්ව සිටියහ. කටාර් සංචාරයේ විවේකයන් අතරතුර නියෝජ්‍ය ඇමති අජිත්, මෛත්‍රී සහ ෆයිසර් සමග නිරන්තරයෙන් සාකච්ඡා කරන්නට වූයේ එළැඹෙන පළාත් පාලන ඡන්දය පිළිබඳවය
'ඇමතිතුමා මගෙත් එක්ක තරහ වෙන්න එපා. ඔබතුමා මගේ මිත්‍රයා තමයි, ඒත් පළාත් පාලන ඡන්දෙ ජනවාරියේ තියෙන්න කටයුතු නොකළොත් ඔබතුමාටත් වෙන්නෙ විජයදාස ඇමතිතුමාට වෙච්ච දේමයි. ඔන්න ඒකට තරහ වෙන්න නම් එපා'
අජිත් එසේ කියනවිට ජනාධිපති මෛත්රීද සිනහවෙමින් එය අසාගෙන සිටියහ.
පළාත් පාලන ගැසට් පත්‍රයට ඇමති ෆයිසර් අත්සන් කිරීමට නියමිතව තිබුණේ බදාදා දිනයේදීය. අඟහරුවාදා දින සවස් යාමයේ පළාත් පාලන අමාත්‍යාංශයට ඇමති අජිත් පී පෙරේරා ගිය අතර, එවිටත් ඇමති ෆයිසර් සහ ලේකම් ඇතුළු පිරිසක් අමාත්‍යාංශයේ රැඳී සිටියහ.
'ඇමතිතුමා හෙට අර වැඩේ වෙනවා නේද? නැත්නම් එදා මම කියපු දේ වෙයි'
අජිත් කියන විට ෆයිසර් සිනහ වෙමින් පැවසුවේ,
'හරි හරි.. ඒක හරි' කියාය.
බදාදා දිනයේදී ගැසට් පත්‍රයට අත්සන් තබා ඇමති ෆයිසර් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණෙන විට අනුර කුමාර දිසානායක ව්‍යවස්ථා විවාදයේ අදහස් දක්වමින් සිටියේය. ෆයිසර් පැමිණෙන දුටු විපක්ෂ මන්ත්‍රී නලින්ද ජයතිස්ස ෆයිසර්ට අතවැනුවේ සුබපැතීමට මෙනි. පසුව අජිත් පී පෙරේරාද ෆයිසර් අසලට ගොස් අතට අත දී සුබපතනු දක්නට ලැබුණි.
පසුගිය බදාදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියේ වැඩසටහන් දෙකක් යොදා ගනිමිනි. එකක් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් බප‍්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූවන් 995 දෙනකු වෙනුවෙන් රුපියල් 10,000 බැගින් වටිනා ගෘහ උපකරණ පිරිනැමීමටය. අනෙක් කරුණ වූයේ වැලිවිටිය දිවිතුර 'නිල සෙවණ' කාර්යාලයට මුල්ගල් තැබීමයි. මේ උත්සව සඳහා හිටපු අමාත්‍යවරයකු වූ ගුණරත්න වීරකෝන්ද පැමිණ සිටියේය. ඇමති වජිරට පෙර කතා කළ ගුණරත්න වීරකෝන්
'මම කෙටියෙන් කතා කරනවා' යැයි කියමින් මහ විස්තරයක් කළේය. නමුත් සියල්ලෝම මේ විස්තරය අසා සිටියේ විටෙක පුදුමයට පත්වෙමිනි.
'මම වජිර අබේවර්ධන ඇමතිතුමාගෙන් වැඳල ඉල්ලනවා මීට පස්සේ ප්‍රාදේශීය සභාවකටවත් ඕලෙවල් ෆේල් වෙච්ච අය දාන්න එපා කියලා. එහෙම අය සමාජයට වැඩක් කරාවි කියලා හිතලා මම ඒ අයට සභාවට යන්න අවස්ථාව හදල දුන්නා. අද එක්කෙනක්වත් මාත් එක්ක නෑ. මහින්දත් එක්ක ගිහින්. මහින්ද එදා මාව පැරැද්දුවා' යැයි කියූ ඔහු
'මම එදා ඡන්දය ඉල්ලන්න ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමග කතා කළා. ඒ වෙලාවේ මම ඇහුවා මම ඉල්ලන්නද කියා. ඉල්ලන්න කියල කිව්වා. නමුත් ඉල්ලන්න කියලා අන්තිමේදී මාව පරද්දන්න වැඩ කළා. එතුමා සමග ජයග්‍රහණය කරපු අය අද ගංවතුරට අහුවුණු ඔබ බලන්නවත් ආවද? කෝ එයාලා? පැත්ත පළාතක නෑ. මොනවද කළේ? මේවා අපි තේරුම්ගන්න ඕනේ' පවසා සිටියේය.
ගුණරත්න වීරකෝන් යනු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග අතිශය සමීපව සිටි පුද්ගලයෙකි. ඔහු අද ජනාධිපතිවරයාගේ දිස්ත්‍රික් කළමනාකාර ධුරයක් දරමින් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරයද දරයි.
පසුගියදා පැවැති විවාහ මංගල්‍යය උත්සවයකට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ප්‍රසන්න, පවිත්‍රා, කාංචන ජයරත්න සහ බැසිල්ද ආණ්ඩුව නියෝජනය කරමින් සුසිල්, රාජිත, විජේදාස සහ දයා ගමගේ එක්ව සිටියහ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක් මේසයකත් ආණ්ඩුවේ පිරිස වෙනත් මේසයක් සිටි අතර, ආණ්ඩුවේ පිරිස සිටි මේසයේ විජේදාස අසලින් අසුන් ගැනීමට රාජිත ආවේය. ඒ දුටු විජේදාස වහා අසුනින් නැගිට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස සිටි මේසය වෙත ගොස් බැසිල් අසලින් අසුන් ගත්තේය.
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්කෙරුණු අතර, මැතිවරණය, ව්‍යවස්ථාව ගැන මෙහිදී අදහස් දැක්විණි. 'පළාත් පාලන මැතිවරණය අපි කොහොමත් දිනනවා. අපට ඒකට ඔයාලගේ සහයෝගය අවශ්‍යයි' බැසිල් කීවේ සුසිල් දෙසද බලමිනි. 'අපි ඉතින් කොහොමත් ජනතාවගේ පැත්තෙනෙ' සුසිල් පැවසුවේ සිනාසෙමිනි.
'දැන් පක්ෂයෙන් එවලා තියෙන ඉල්ලීම පිළිගන්නවද?' සුසිල් ඇසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවා ඇති ලිපිය ගැන අදහස් දක්වමිනි.
'අපි නීති උපදෙස් මතයි ඒකට උත්තර දෙන්නේ. අපේ අයගේ නම් වැඩි කැමැත්තක් නැහැ' පවිත්‍රා පිළිතුරු දුන්නාය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය සතියේ මහජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබුණේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දැනුවත් කිරීමටය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ ගැසට් නිවේදනයට ෆයිසර් මුස්තාෆා අත්සන් තැබූ බවට කෙටි පණිවුඩ ලැබුණේ කොමිසමේ සභාපතිවරයා කතා කරමින් සිටි අතරතුරය.
'ඇමතිතුමා ගැසට් එක යැව්වා නම් අපි ඡන්දෙ තියනවා' මහින්ද දේශප්‍රිය කියත්ම සභාවේ සිටි අය කීවේ, ඇමතිවරයා ගැසට් එක අත්සන් තබා ඇති බවට කෙටි පණිවුඩ ලැබුණු බවයි.'ඔබතුමා හැමදාම කිව්වේ පිච් එක ලෑස්තියි, බෝලෙ දුන්නොත් මැච් එක ගහන්න පුළුවන් කියලා. දැන් ඔන්න බෝලෙත් ලැබිලා තියෙනවා. දැන්වත් මැච් එක ගහනවද?' සභාවේ සිටි අයෙක් දේශප්‍රියගෙන් ඇසුවේය.
'හරි එහෙනම් ඔයාලා මැච් එක ගහන්න ලැහැස්ති වෙන්න. මමත් ලැහැස්තියි' මහින්ද දේශප්‍රිය පැවසුවේය.
'මං අද ගෙදරින් එනකොට කිව්වා ඡන්ද තියන ගැසට් එක ආවොත් මමත් රතිඤ්ඤා පත්තු කරනවා කියලා. නෝනා මට කිව්වා පොඩි ළමයි කරන වැඩ කරන්න එපා කියලා. ඒකයි මම රතිඤ්ඤා ගෙනාවේ නැත්තේ' මහින්ද දේශප්‍රිය කීවේ සභාව සිනාගන්වමිනි.
ඉවරයි 30 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රසන්න රණවීරට අශෝක අබේසිංහ සහ හර්ෂණ රාජකරුණා මුණගැසුණේය.
'කොහොමද මන්ත්‍රීතුමා?' අශෝක ඇසුවේය.
'හිරගෙදර ජීවිතය අමාරුද?' හර්ෂණද ඇසුවේ රණවීරට ළං වෙමිනි. &මට නම් ගාණක් නැහැ. මම හිරේ ගියේ මිනිස්සු වෙනුවෙන්. හැබැයි හොඳට බලන් ඉඳපල්ලා අපි ආවම කරන දේ' රණවීර කීවේය.
'ඒ මොකක්ද ඒ කතාව?' හර්ෂණ කලබලයට පත්ව ඇසුවේය.'නෑ අපේ ආණ්ඩුවක් ආවාම ඔයාලා මට කළා වගේම අපිම ගල්ගහලා, අපිම පැමිණිලි දාලා, අපිම හිරේ දානවා' රණවීර පැවසීය.
අරුන්දික සහ සනත් නිශාන්තට විජිත් විජිතමුණිද සොයිසා මුණගැසුණේ පාර්ලිමේන්තුවේදීය.
'ඔබතුමාට හරි පිළිගැනීමක්නෙ තියෙන්නේ ගම්වල. මිනිස්සු ඔබතුමා එනකම් බලන් ඉන්නෙ' අරුන්දික කීව්ය.'ඇත්තටමද මල්ලි, මට එච්චර මිනිස්සු කැමැතිද?' සොයිසා ඇසුවේය.
'අප්පච්චි මළා කතාවට වඩා දැන් ඔබතුමා එනකම් මිනිස්සු බලන් ඉන්නවා' අරුන්දික යළි කීවේය.
'මම මහින්ද මහත්තයාට හැමදාම ආදරෙයි. මොනවා වුණත් අපි එකතු වෙන්න ඕන. නැත්නම් අපි දෙගොල්ලොම ඉවරයි' සොයිසා පැවසීය.
'එහෙමනම් එකතු කරන්න නායකත්වය ගන්න එපැයි' අරුන්දික කීවේය. 'මම ලොක්කටත් කියලා වැඩේ කරනවා' සොයිසා කීවේය.
'කිව්වට තරහා වෙන්න එපා ඇමතිතුමා. ගම්වල මිනිස්සු බලන් ඉන්නේ නිකම් නෙමේ පොල්පිති තියාගෙන. ඒ හින්දා පරිස්සමට ඉන්න. අපි නම් ඔය පැත්තට එන්නේ නැහැ. ඔයාලාටත් වෙන්නේ මෙහෙට එන්නයි' සනත් අවසානයේදී කීවේය.
එක පැත්තකින් එන්න කියනවා, අනිත් පැත්තෙන් ගහනවා, ඉතින් අපි කොහොමද මේකට යන්නේ?
ඉදිරි මැතිවරණය සඳහා තරග වැදීම ඇතුළු කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන සාකච්ඡාවට පැමිණෙන්නැයි ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක යැවූ ලිපිය පසුගිය සිකුරාදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් වෙත ලැබී තිබුණි. එදින සවස් වරුවේ මහින්දානන්ද, පවිත්‍රා, ප්‍රසන්න රණතුංග,ජනක බණ්ඩාර ඇතුළු පිරිසක් මහින්ද හමුවීමට ගියේ මේ පිළිබඳව සාකච්ඡා කර ගැනීමටයි.
මහින්දානන්ද කතාව ආරම්භ කළ විට,
“කලිනුත් මේ විදියට එන්න කිව්වා. සාකච්ඡා කෙරුවා. හැබැයි ඊට පස්සෙ අපිට දිගට හරහට ගහන්න පටන් ගත්තා. අපේ සංවිධාකයන් අයින් කරනවා. ඉතින් අපි කොහොමද යන්නේ" යැයි ප්‍රසන්න කීවේය.“මන්ත්‍රීතුමන්ලා කලබල වෙන්න එපා. අපි නොගියොත් ඒ අයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා අපි හොයල බලන්න ඕන. මේවායේ නීතිමය පසුබිම හොයන්න ඕන.
මම හෙට ඉන්දියාවට යනවා. මං ලංකාවට එනකම් ඒ ගැන හොයලා බලන්න. ප්‍රසන්නයි, පවිත්‍රයි ලෝයර්ස්ලා හම්බුවෙලා මේකට නීති උපදෙස් ගන්න. වැඩේ පටන් ගන්න" මහින්ද කා දෙසත් බලමින් පැවසීය.ඉන්පසුව සෙනසුරාදා උදෑසනම පවිත්‍රා සහ ප්‍රසන්න ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නීතිඥවරුන් පිරිසක් සමග සාකච්ඡා කළහ. 'පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙන්නේ නැතිව කටයුතු කළොත් මන්ත්‍රී ධුරයන්ගෙන් අයින් කරන්න බැහැ. දැනට එහෙම මන්ත්‍රීවරු අයින් කරලා නැහැ' නීතිඥවරුන් පවතින නීතිමය තත්ත්වය පැහැදිලි කළහ.
මහින්ද ඉන්දියාවේ සිටින අතරතුර ඩුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට එකතු වීමේ ක්‍රියාදාමය සිදුවිය. ඩුලිප් දිගටම ආණ්ඩුව සමග සිටියේ කැමැත්තකින් නොවේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය ආරම්භ වීමට දින ළංවත්ම ප්‍රසන්නට කතා කළ ඩුලිප් 'මං ආණ්ඩුවෙන් අයින් වෙලා ඔබතුමාලා එක්ක දේශපාලනය කරන්න ලෑස්තියි' යැයි පැවසීය. ප්‍රසන්න එම පණිවුඩය මහින්දට කීවේය. එහෙනම් ඔයා මැදිහත්වෙලා ඒ කටයුත්ත ඉවරයක් කරල දාන්න යැයි මහින්දගේ ප්‍රතිචාරය විය. ඉන්පසුව ප්‍රසන්න එම කාර්යය තමන්ගේ අතට ගත්තේය. මේ අතර ඩුලිප්් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම සඳහා කථානායක කරු ජයසූරිය හමු විය.
'ඊළඟ සභාවාරයේ කාරක සභා අවස්ථාව නිසා එහෙම විශේෂ ප්‍රකාශයක් කරන්න දෙන්න බැහැ. ඒ හින්දා මන්ත්‍රීතුමා මට වෙලාවක් දෙන්න බැහැ' කරුගේ ස්ථාවරය විය. මේ ගැන ඩුලිප්් වහාම කතාකර ප්‍රසන්නට කීවේය. එවේලෙම දිනේෂ් ඇමතූ ප්‍රසන්න ඒකාබද්ධ විපක්ෂයට අයත් කාලයෙන් ඩුලිප්්ට අවස්ථාව ලබාදුන්නේය. මේ ගැන අහන අහන අයගෙන් රහසක් වශයෙන් රැකගැනීමට ඩුලිප්් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තීරණය කර තිබුණි.
ඩුලිප් ඒකාබද්ධ විපක්ෂයට යන බවට තහවුරු වූ තොරතුරු ආණ්ඩුවට නොලැබී තිබියදී මුහුණු පොතේ මහින්ද හිතවාදී පිටුවක් සවස 6.00ට පමණ මෙම ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ කර තිබුණි. ඉන්පසුව ඩුලිප්් යන බව තහවුරු කරගෙන රාත්‍රී 9.00 වන විට ඔහුගේ තැපැල් නියෝජ්‍ය ඇමති ධුරය අයින් කළේය. ඇමතිවරයෙක් වශයෙන් ආණ්ඩුවෙන් ඉවත් වීමට ඩුලිප් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ උත්සාහය ව්‍යවර්ථ විය. ඒ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ දැඩි කතාබහක් ඇතිව තිබුණි.ඩුලිප් ආණ්ඩුවෙන් ඉවත්වන බවට ආරංචිය පැතිර යෑම නිසා මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න ඩුලිප්්ට කතා කළහ. &මන්ත්‍රීතුමා තවදුරටත් අපිත් එක්ක ඉන්න. තියෙන ප්‍රශ්න විසඳගෙන අපි ඉදිරියට යමු" ඔවුහු පැවසූහ.
ඩුලිප්ගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ටද ඉරිදා රාත්‍රිය වනතුරු දුරකථන ඇමතුම් ගලා ආවේ එම පණිවුඩය කියමිනි. ඩුලිප් මේ කිසිදු අදහසක් සැලකිල්ලට නොගැනීමට වග බලා ගත්තේය. සඳුදා උදෑසන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ ඩුලිප් ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගත්තේය.එදින පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණ ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන සිටි ඩුලිප් රීති ප්‍රශ්නයක් මතු කරමින් කතා කිරීමට අවස්ථාව ඉල්ලීය. ඔහුගේ රීති ප්රශ්නය කුමක්දැයි කථානායකවරයා විමසන අවස්ථාවේ ඩුලිප් පැවසුවේ මෙසේයි.
'අද මේ මොහොත වන විට ත්‍රෛනිකායික මහා සංඝරත්නය, මහනායක හාමුදුරුවෝ, පුජකතුමන්ලා සියලුදෙනා විරුද්ධවෙලා ඉන්න මේ ව්‍යවස්ථාදායකයට මම විරෝධය පළකරමින් මම යනවා'යැයි ප්‍රකාශ කරමින් ඩුලිප් විපක්ෂයට ගියේය. ඔහු විපක්ෂයට පැමිණෙන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුව මහත් හරසරින් පිළිගත්තේය. ඒ සමගම අගමැති රනිල් නැඟී සිට ඩුලිප්ගේ ඉවත්වීම ගැන සඳහනක් කළේය.
'මේ සභාව පාර්ලිමේන්තුවේ කමිටුවක්. සාමාන්‍යයෙන් ප්‍රකාශයක් කරද්දි එක පක්ෂයකින් මාරුවෙලා අනිත් පැත්තට යනවා නම් සෙංකෝලය තිබෙන තැනකයි ඒ ප්‍රකාශය කළ යුත්තේ. ඕක දන්නෙ නැත්තම් වෙන දෙයක් කරලා වැඩක් නැහැනේ. සෙංකෝලේ නැති තැන ප්‍රකාශ කරලා තිබෙන වටිනාකම මොකද්ද? ඔක දන්නේ නැත්නම් තව මොනවා කරන්නද?'
විපක්ෂයට ගිය ඩුලිප් ව්‍යවස්ථා විවාදයට එක්වෙමින් පැවසුවේ තමා විපක්ෂයට පැමිණීම පිළිබඳවයි.
'අමාත්‍ය ධුරයක් අරගෙන මේ යහපාලන ආණ්ඩුවේ අවුරුදු දෙකයි මාස දෙකක කාලයක් කටයුතු කළා. නමුත් ගමේ නම් අපිට එහෙම යහපාලනයක් දකින්න ලැබෙන්නේ නැහැ. මම අද ඓතිහාසික තීන්දුවක් ගත්තා. මගේ පියා දොම්පේ ආසනේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා. ඉතාම හොඳින් 1954 සිට දේශපාලනය කළා. මේ වෙලොවේ යුතුකමක් ඉෂ්ට කරන්න තිබෙනවා. පක්ෂයේ ඉල්ලීම අනුවයි මෙච්චර කාලයක් අමාත්‍ය ධුරයක් අරගෙන කටයුතු කළේ. නමුත් වුණ දෙයක් නැහැ. මම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙච්චර කාලයක් හිටියට මගේ තාත්තගෙන් වැඳලා සමාව අයැද සිටිනවා. මගේ ඡන්දදායකයන්ගෙන් සමාව ඉල්ලනවා'
ඩුලිප් එසේ කියනවිට පසුපෙළ මන්ත්‍රීවරුන් විමසුවේ අවුරුදු දෙකයි මාස දෙකක් යනකම් තාත්තා මතක් වුණේ නැද්ද කියාය.
ඉන්පසුව පාර්ලිමේන්තු වටරවුමේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයට සහභාගි වීමට පාර්ලිමේන්තුවෙන් එළියට ආවේය. නෙළුම් මල් මාලයක් දමා උද්ඝෝෂණයේදී ඔහු පිළිගනු ලැබීය. ඒ වන විට ප්‍රසන්න රණතුංග සිටියේ දුමින්දගේ ලිපියට පිළිතුරු ලිපියක් සකසමිනි. ඩුලිප්් උද්ඝෝෂණයේදී කතාකරන අවස්ථාවේදී ප්රසන්නද එම ස්ථානයට පැමිණියේය.
නැවත ඩුලිප් ඇතුළු කිහිපදෙනෙකු ප්‍රසන්නගේ වාහනයේ නැගී පාර්ලිමේන්තුවට ගියහ.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු භෝජනාගාරයට ගියහ. අන් අයගේ අත්පොළසන් නාදය මැද්දේ බන්දුල ගුණවර්ධන ඩුලිප්්ට කිරිබත් කැව්වේය. ඩුලිප් එහිදී කතාවක්ද පැවැත්වීය. එම අවස්ථාවේදී කොළඹ දිස්ත්‍රික්කයේ එජනිස ඇමතිවරයෙකු පැමිණ ‘මල්ලී උඹ මේ තීන්දුවව ගත්ත එක හොඳයි' ‘යැයි ඩුලිප්ට පවසා සුභ පැතීය.මේ අතරේ ඩුලිප්ගේ කාර්ය මණ්ඩලය බඩුබාහිරාදිය බාරදී සියලුදෙනා වෑන් එකකින් පැමිණියේය. ඩුලිප් ඔවුන්ට කතා කළ විට වෑන් එකේ එන බව සේවකයන් පැවසූහ. ඉන්පසුව එම වෑන් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වූ ඩුලිප් කාර්ය මණ්ඩලය සමග දොම්පේට පැමිණියහ.
ඒ වන විට දොම්පේ බණ්ඩාරනායක පිළිරුව අභියස උත්සවයක් සංවිධානය කර තිබුණි. එම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ඩුලිප් තවත් පිළිගැනීමේ උත්සව කිහිපයකට ගියේය. වෑන් රථයෙන් ගොස් බිමට බහිද්දී පුදුමයෙන් මෙන් තමන් දෙස ජනතාව බලා සිටිනු දැක &ඇයි ඔයාලා හිතුවෙ මං මීට වඩා ලොකු වාහනයක එයි කියලද?. ඩුලිප් ඇසීය. 'ඔබතුමා දැන් පයින් ආවත් අපි පිළිගන්නවා' ජනතාව කියා සිටියහ.
බදාදා පාර්ලිමේන්තුවේදී මහින්දට කතාවක් කිරීමට අවස්ථාව ලබානොදීම ගැන මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සමග සාකච්ඡා කළේය. 'ඒකාබද්ධ විපක්ෂයේ මතය රටට යෑම වැළැක්වීම තමයි මේ අයගේ අරමුණ වෙලා තියෙන්නේ. මේ අය කියන ප්රජාතන්ත්රවාදය මේකද‘?' මහින්ද කීවේය. ඉන්පසුව කථානායකට පැමිණිලි කිරීමට ඔවුන් ගියහ. 'බ්‍රහස්පතින්දා කතාවක් දෙන්නම්' යැයි කරු එහිදී කීවේය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරු එදින සවස පාර්ලිමේන්තුවේදී රැස්වූයේ මහින්දගේ ප්‍රධානත්වයෙනි.
'එල්ටීටීඊ එක පරාදවේගන පරාදවේෙගන යද්දී සාම සාකච්ඡාවලට කැමති වෙනවා. සාම සාකච්ඡා කාලයේදි ශක්තිමත් වෙලා අපේ හමුදාවට නන්නත්තාර වෙන්න ගැහුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් අනුගමය කරන්නෙත් ඒ ප්‍රතිපත්තිය තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවට ගියොත් අපිට නන්නත්තාර වෙන්න වෙනවා. ඒ නිසා ඒකට මම විරුද්ධයි. මොකටද අපි යන්නේ. රෙද්දක් ඇදගෙන යන්න පුළුවන්ද?' යනුවෙන් ප්රසන්නද මහින්දානන්දට එකතු විය. 'ජාතික සම්පත් විකුණනවාට විරුද්ධව අපිත් එක්ක ඉන්න මිනිස්සු ටික හිරේ දාලා අපි කොහොමද යන්නේ* එවිට පවිත්‍රාද ඇසීය. රමේෂ්, වෙල්ගම මෙම අදහස තවත් පැහැදිලි කළේය.
ඒ අනුව ලිපියක් යවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවට සහභාගි නොවීමට ඔවුන් ඒකමතිකව තීරණය කළහ. ඉන්පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීමේ වගකීම ප්‍රසන්නට පැවරීය. දැනට විදේශගතව සිටින ඩලස්, ගාමිණී ලොකුගේ සහ රත්නපුරයේ සිටින ප්‍රේමලාල් ජයසේකර හැර මන්ත්‍රීවරු 42ක් එම ලිපියට අත්සන් කළේය. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙකු විසින් බ්‍රහස්පතින්දා දහවල් කාලයේදී ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොස් එම ලිපිය බාර දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය පසුගිය අඟහරුවාදා රැස්විය. ජනාධිපතිවරයා එහිදී පළමුව ප්‍රකාශ කළේ “අපි දැන් කැළි කසළ ප්රශ්නය විසඳා අවසන් කළා. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා යටතේ එම ප්රශ්නය විසඳීමට අධිකාරියක් පිහිටවූවා. එය නිසි අයුරින් සිදුකළා. එයට අපි ස්තූතිය පුද කළ යුතුයි” යනුවෙනි. එවිට අමාත්‍යවරු අත්පුඩි ගසා සිය සතුට පළ කළහ.
ඉන් පසු අමාත්‍ය කබීර් හෂීම් විසින් මිහින් ලංකා ගුවන් සේවය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී. මේ වනවිට මිහින් ලංකා ගුවන් සේවය රුපියල් මිලියන 4834ක අලාභයක් ලබන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. “කිසිදු අධ්‍යයනයකින් තොරව, කැබිනට් තීන්දුවකින් තොරව පසුගිය රජය විසින් මෙය ආරම්භ කර තිබෙනවා.
එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධනයි. එම නිසා මේ පිළිබඳව තීරණයක් ගත යුතුයි” යනුවෙන් කබීර් හෂිම් පැවසීය. එවිට ජනාධිපතිවරයා සඳහන් කළේ “පසුගිය රජය සමයේ සිදුකළ දුෂණ වංචාවල කුණු අදින්න අපට වෙලා තියෙනවා. දැන් ලොකුවට ඒ අය දූෂණ වංචා ගැන කතා කරනවා. ලැඡ්ජයි” යනුවෙනි. එවිට අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ මිහින් ලංකා ගුවන් සේවය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ යුතු බවයි.
එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඉන්පසු දේශීය කිරි අතිරික්තය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ “කිරි අතිරික්තයක් ඇතිවී තිබෙනවා. රුපියල් 200ක් වී තිබූ බදු මේ වනවිට රුපියල් 10 දක්වා අඩු කර තිබෙනවා. බදු අඩු කිරීම පිටුපස ඉන්නේ එක්තරා කිරිපිටි සමාගමක්. එම කිරිපිටි සමාගම අමාත්‍යවරුත් අල්ලගෙන ඉන්නේ. එම සමාගම යෝගට් පවා නිෂ්පාදනය කරන්නේ කිරිපිටිවලින්. එළකිරිවලින් නොවෙයි.” යනුවෙනි.
එහිදී අදහස් දැක් වූ අමාත්‍ය සරත් අමුණුගම සඳහන් කළේ “මෙම සමාගම ජාතිද්‍රෝහී සමාගමක්. මම ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නේ කිරිපිටි ආනයනය පිළිබඳව අධ්‍යයනයක් සිදුකළ කමිටුවේ සභාපතිවරයා ලෙසයි.” යනුවෙනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් කිරිපිටි බද්ද අඩු කිරීමට තීරණය කළ බවයි. ඊට විරෝධය පළකළ අමාත්‍ය සරත් අමුණූ ගම සඳහන් කළේ බදු අඩු කළද කිරිපිටි මිල අඩු වී නොමැති බවයි. “ජීවන වියදම අඩු වෙලත් නැහැ. ලෝකයේ කොහේවත් කිරිපිටි කියලා නිෂ්පාදනයක් නැහැ. තිබෙන්නේ ලංකාවේ පමණයි. එම රටවල විනාශ කිරීමට නියමිත නිෂ්පාදන ලංකාවට එවලා මිනිසුන්ට අලෙවි කරනවා. අපි දේශීය කර්මාන්ත දියුණු කළ යුතුයි” යනුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd