Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
ජනාධිපතිවරණය නිමා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා බවට පත්කරමිනි. මීට මාස දෙක තුනකට පෙර ඔහු හෝ විශ්වාස නොකළ ආකාරයට මෛත්‍රී ජනාධිපති ධුරය දක්වා පැමිණියේය. විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කළ පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ මුස්ලිම් ජනතාවගේද පූර්ණ ජන සහභාගීත්වයෙන් ඔවුන්ගේද ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනාධිපතිවරයා වන්නේ සිරිසේන මහතාය. මේ නිසා නව ජනාධිපතිවරයාට කිරීමට ඇති දේ මෙන්ම අභියෝගද බොහෝය.
රාජපක්ෂවරුන්ගේ නික්ම යෑම
මහින්ද රාජපක්ෂ සිකුරාදා උදෑසන අරලියගහ මන්දිරයෙන් නික්ම යෑම බොහෝ දෙනෙකු විශ්වාස නොකළ තත්ත්වයකි. ඒ ඔහු පසුගිය කාලයේ කළ කී දෑ නිසාය. එහෙත් ඒ හරහා හිටපු ජනාධිපතිවරයා තමාට පසුගිය කාලයේ කැපී ගිය ලකුණු කීපයක් යළි එක්කර ගත්තේය. එය ඔහුට කෙසේ වෙතත් නාමල් රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට ඉදිරියේදී දේශපාලනයේ යෙදෙන්නේ නම් වැදගත් වෙයි. එහෙත් ජනවාරි 08 වැනිදා පාන්දර යාමයේ සිදුවූයේ යැයි කියන හෙළ උරුමය සහ එ.ජා.ප.ය කරන චෝදනා ඔප්පු වුවහොත් ස්තුති කළ පිරිසත් එය නැවත ලබා ගන්නා තත්ත්වයක් තිබේ. අනෙක් අතින් මැදහත්ව බලා සිටින්නෙකුට නම් මේ පිටව යෑමේ විශේෂත්වයක් නොවේ.
ඔහු ප්‍රශ්නයක් ඇති නොකිරීම ස්තුති කළ යුතු තත්ත්වයක් නොවේ. එය ඔහුගේ කාර්යයයි. ජනාධිපතිවරයා ලෙස ඔහු අනිවාර්යයෙන්ම කළ යුතු වූ කාර්යයයි. ඔහු යුද්ධය අවසන් කළේය. එය කළ එකම ජනාධිපතිවරයා ඔහුය. එහෙත් ප්රජාතන්ත්රවාදය ඇති රටක එය විශ්වකර්ම වැඩක් ලෙස සැලකීම අප කළ වරදයි. එය ජනතාව තෝරා ගන්නා ජනාධිපතිවරයා කළ යුතු වූ කාර්යයයි.
යම් කිසි කාර්යයකට සුදුසු යැයි තෝරා පත්කරගත් පසුව තමන්ගේ රාජකාරියට අදාළ, එහෙත් අනෙක් අයට බැරි වූ දෙයක් කිරීම අදාළ පුද්ගලයාගේ සුවිශේෂතාවක් නොව එතෙක් එම ධුරය දැරූ පිරිසගේ නොහැකියාවයි. මේ තත්ත්වය අප කවදාවත් තේරුම් ගත්තේ නැත. එහෙයින් මහින්ද රාජපක්ෂ ඉතිහාසගත වන්නේ විධායක ජනාධිපතිවරයෙකුට පැවරුණු සියලු වැඩකටයුතු ඉටුකළ පළමුවැන්නා වශයෙනි. අනෙක් ජනාධිපතිවරුන්ට මේ තත්ත්වය හිමිවන්නේ නැත.
එහෙත් ඔහු තමන්ගේ බලය උපරිමයෙන් යොදා ගත් පුද්ගලයා ලෙසද ඉතිහාසයට එක්වන බව අප අමතක නොකළ යුතුය. ඔහු පරාජයට පත්වන්නේද මේ හේතුව නිසාමය. නැත්නම් ඔහුට ජනාධිපති ධුරයෙන් එහා ගොස් පෙරදිග අපේ සාම්ප්‍රදායික චින්තනයට අනුව 'දේවත්වයට' පත්වීමට තිබුණි. ඒ මෙතෙක් බොහෝ පාලකයන් තමන්ට පැවරුණු කාර්යය ඉටුනොකළ නිසාවෙනි. එහෙත් 2010 න් පසුව අප දැක්කේ වෙනත් මහින්ද රාජපක්ෂ කෙනෙකි. ඔහු 2010 ට පෙර සිටි මහින්ද රාජපක්ෂ වීමට 2015 ජනවාරි 09 වැනිදා උදෑසන වනතුරු අපට බලා සිටින්නට සිදුවීම අපට සිදුවූ පාඩුවක් නොව, ඔහුට සහ ඔහුගේ පවුලට සිදුවූ පාඩුවකි. එය රටට පාඩුවක්දැයි තීරණය කිරීමට තවම කල් වැඩිය.
මෛත්‍රී පාලනය ඇරඹීම
මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ දින 100 වැඩසටහනේ දැක්වූ පරිදි ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නට සෙනසුරාදා වනතුරු සිටියේ නැත. ඔහුගේ දිවුරුම් දීමේ උත්සවයට වැය වූයේ රුපියල් 6000 ක් බව කියවුණි. මේ ආරම්භය රටේ එක් කොටසක් බලා සිටි ආරම්භයකි. එහෙත් මේ ආරම්භය තේරුම් නොගත් පිරිසක්ද සිටියහ. ඔවුන් විමසුවේ අඩුම ගානේ විෂුවල් එකක්වත් හරියට නැති බවයි. ජනාධිපතිවරයා ලෙස දිවුරන්නට සංදර්ශන පැවැත්වීමට වඩා වැඩ කටයුතු ඇති බව සිතන්නට අපට නොසිතේ. එසේ සිතිය නොහැකි තරම් අපේ සමාජයේ සිත් වෙනස් කර තිබේ. සංදර්ශන මානසිකත්වය අපව වෙළාගෙන තිබේ. එය නොමැති වූ විට මෙය හොරයක්දෝ සිතන තරමට සිත් අවුල්ය.
මේ රටේ බොහෝ ජනාධිපතිවරු දිවුරුම් දීම සංදර්ශනයක් කර ගත්හ. රණසිංහ ප්‍රේමදාස මහතා පත්තිරුපුවට නැගීම එහි එක් විශේෂ අවස්ථාවකි. මහින්ද රජපක්ෂ මහතා දිවුරුම් දීම පමණක් නොව බොහෝ දේ සංදර්ශන බවට පත්කර ගත්තේය. ඔහු වටා සිටි වන්දිභට්ට කලාකරුවන් පොහොසතුන් වීමට ප්‍රධාන හේතුවක් වූයේ මේ සංදර්ශනයි. ඒ ගැන ඉදිරියේදී යම් පරීක්ෂණයක් සිදුවන්නේ නම් හොඳය. හේතුව මේ කලාකරුවන්ගේ දේශමාමක, දේශහිතෛශීභාවයට කලාවේ නාමයෙන් කොතරම් මුදලක් ලැබුණේදැයි එවිට තේරුම් ගත හැකි වන නිසාය.
ඒ අනුව මෛත්‍රී දිවුරුම් දීමත්, ඔහු එහිදී දුන් පොරොන්දුවත් වැදගත්ය. ඒ යළිත් වතාවක් ජනාධිපති වීමට ඔහුගේ කැමැත්තක් නොමැති බව කීම නිසාය. එහෙත් ඔහුගේ සගයන් ඉරිදා දිනයේදී රථ පෙරහරකින් නුවර යෑම නම් අනුමත කළ නොහැකි සංදර්ශන මානසිකත්වය ඇති පිරිස ඇමතීමක් විය. එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. ඒ කටයුත්ත සමග අලුත් ජනාධිපතිවරයා සමග එකඟ විය නොහැකිය. මෙය එකම සහ අවසන් අවස්ථාව වන්නේ නම් සංදර්ශන මානසිකත්වයෙන් සිටින පිරිසට දුන් බෙහෙතක් පමණක් යැයි සිතා පසුගිය සමය දෙස විමතියෙන් බලා සිටි පිරිසට හිතහදා ගන්නට හැකිය.
යහපාලනය සහ රථ පාලනය
මේ මා අත්දුටු දෙයක් පමණි. ඔබත් මෙවැනි දේ පසුගිය දින දෙකේදී අත්දකින්නට ඇත. පසුගිය සෙනසුරාදා හයිලෙවල් පාරේ අතිශය සාමාන්‍ය හන්දියක සිටියෙමි. එතැන මෛත්‍රී ජනාධිපතිවරයාගේ මැතිවරණ කාර්යාලයකි. එය මැතිවරණ නීතියට අනුව ඉවත් කර තිබුණේ නැත. මේ කාර්යාලය ඉදිරියේ කලබලයකි. කිරිබත් තබා කවුරුන් හෝ එනතුරු ඔවුහු බලා සිටියහ. ඒ සමගම පොලිස් බයිසිකලයක් පෙරටු කරගෙන රථ පෙළක් වේගයෙන් පැමිණියේය. ඒ ආකාරයෙන් රථ පැමිණීම පසුගිය කාලයේ අපට හොඳින් පුරුදුය. බොහෝ දෙනා මහින්ද රාජපක්ෂ රජයේ අප්‍රියම කළ දෙයක් වූයේද මෙයයි.
ඒ ඔවුන්ට ඉඩදී අපට පාරේ හැංගෙන්නට වන නිසාය. ඒ ආකාරයෙන්ම පැමිණි රථ පෙළේ ජීප් රථයකින් බැස්සේ යහපාලනයේ කොටස්කරුවෙකු වන මන්ත්‍රීවරයෙකි. රතිඤ්ඤා පත්තු විය. මාර්ගය අවහිර විය. මා සිටින්නේ මෛත්‍රීගේ යහපාලනයේද, මහින්දගේ පවුල් පාලනයේද කියා තේරුම් ගත නොහැකි විය. වෙනදා කිසිදු කරදරයකින් තොරව තමන්ගේ ජීප් රථයේ යන මන්ත්‍රීවරයෙකුට රටේ ජනාධිපතිවරයා වෙනස් වූ සැණින් පොලිස් ආරක්ෂාව අවශ්‍යදැයි මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. ඒ ප්රශ්නය ඉදිරියේදීත් මේ රටේ බොහෝ දෙනෙකු තමන්ගෙන්ම අසනු ඇත.
විපක්ෂයේ සිටින විට කෑ ගසන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගන්නා ආතල් ගන්නට නොහැකි වීම නිසා නම් පාලනය වෙනස් කිරීමෙන් තේරුමක් නැත. මුහුණු වෙනස් වූවාට සිදුවන්නේ එකම දෙය නම් වෙනස් යැයි කීවාට සැබෑවට වෙනසක් සිදු නොවේ නම් මේ තරම් මුදල් කන්දරාවක් වියදම් කර ජනාධිපතිවරණ තැබීමේ තේරුමක් නැත. ප්‍රතිපත්ති සහ පොරොන්දු කියා පොත් දහස් ගණනක් දුන්නත් වැඩක් නැත.
එයින් පසු දැනගන්නට ලැබුණේ බොරලැස්ගමුව පොලීසියට පැමිණි නිරෝෂන් පාදුක්ක නම් එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරයා ගැනය. ඔහු කියන්නේ සිවිල් ආරක්ෂක භටයන්ට සේවය කිරීමට නොහැකි යැයි කියන්නට තමන් පොලීසියට පැමිණි බවයි. මීට මාස දෙකකට පෙරත් සිවිල් ආරක්ෂක භටයෝ මේ ආකාරයෙන්ම සේවය කළහ. ඔවුන් වැඩ කරන්නට බැරි යැයි එදාත් කියන්නට ඇත. එහෙත් මෙවැනි සොයා බැලීමක් කර පොලීසියට පැමිණිලි කරන්නට නිරෝෂන් පාදුක්ක උනන්දු වූවාදැයි දන්නේ නැත. මේ හයිය ආවේ ජනාධිපතිවරයා මාරුවීමෙන් නම් මේ ඇරඹෙන්නේ යහපාලනය නොවේ. මහින්ද පාලනයේ තවත් දිගුවකි. මේවා නතර විය යුතුය. දින සියය අවසානයේදී පොලිස් කොමිසම පැමිණෙන්නේ නම් එවිට හෝ මේ නාඩගම් නවතිනු ඇත. පොලීසිය යනු සකලවිධ වූ දේශපාලඥයන්ගේ අතකොළු නොවේ. බොහෝ දෙනෙකුට නොතේරුණත් මේ ජනාධිපතිවරණයේ තීරණාත්මක දින දෙක වූ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොලීසිය කොන්ද කෙලින් තබාගෙන වැඩ නොකළා නම් යහපාලනය උදාවන්නේ නැත.
මෛත්‍රී පාලනයේ කොටස්කරුවන් මතක තබාගත යුතු දෙයක් තිබේ. එනම් මහින්ද වසර 10 ක් පාලනය කළේය. එහෙත් මහින්ද අන්තිම කාලයේදී ගිය පාරේ ගියොත් මෛත්‍රී පාලනයේද ආයුෂ දින 100 ක් වන බවයි. එය දැඩිව මතකයේ තබා නොගත්තොත් පවුල් පාලනයට නතුවීම හොඳ යැයි ජනතාව කියනු ඇත.
යහපාලනය ක්‍රියාත්මක කිරීම
යහපාලනය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් සොයා ගැනීම නව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධාන කාර්යය වනු ඇත. දේශපාලන පළිගැනීමට ලක්ව බොහෝ ආයතනවල පැත්තකට වී සිටි පිරිස් තම බලය අතට ගෙන ප්‍රධානීන් සේ පෙනී සිටීම අතීතයේ අප අත්දුටු තත්ත්වයයි. මීට සමාන තත්ත්වයක් රාජ්‍ය මාධ්‍ය ආයතනවලද ඇති වූ බව දැනගන්නට තිබේ. දේශපාලනය කරපින්නාගෙන සිටි පිරිස් සහ අවස්ථාවාදී වූවන් තමන්ගේ බලය තරකර ගන්නට කටයුතු කරන්නට වූහ. සමහරු ගේට්ටු අසල බලා සිටියහ. ජනාධිපතිවරණයේ අවසන් දින දෙක තුනේදී ඇතැම් ඇමතිවරුන්ගෙන් කාලයක් තිස්සේ සප්පායම් වූවෝ, විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලවලට පැමිණ බලෙන්ම වැඩ කරන්නට වූහ. මුලින්ම එළවිය යුත්තේ මොවුන් නොවේද?
රාජ්‍ය ආයතනවල සිදුවන ප්‍රධාන දෙයක් නම් තම තමන්ගේ සේවක සංගම් වෙනස් වීමයි. බලය ලැබුණු පිරිස අයත් වන සංගමයට අලුත් පිරිස් බැඳෙති. එය සිදුවන්නේ වෙනසේ ප්‍රතිඵලයක් ලෙස තමන්ට හානියක් සිදු නොවීමටය. මෙය යහපාලනයේ ලක්ෂණයක් නොවේ. යම් කිසිවෙකුට අසාධාරණයක් වී තිබුණේ නම් එය නීත්‍යනුකූලව නිවැරදි කිරීම, යම් අයෙකු අයුතු තනතුරක් ලබාගෙන සිටින්නේ නම් එයද නීත්‍යනුකූලව වෙනස් කිරීම යහපාලනයයි. එය ආරම්භ විය යුතුය. එසේ නොමැතිව එකම හීනමානයක සිටින නිලධාරී පැළැන්තියක මහින්දවාදියෙකු වෙනුවට මෛත්රීවාදියෙකු හෝ රනිල්වාදියෙකු පත්කිරීම නොවේ. දක්ෂ, කාර්යක්ෂම, ආණ්ඩුවේ ගමන්මග කුමක්ද යන්න තේරුම් ගත් අයෙකු පත්කර ඔවුන්ට තමන්ගේ වැඩකටයුතු කිරීමට බලය සහ සහයෝගය ලබාදීම අනිවාර්යයෙන් කළ යුතුය. එසේම නව ජනාධිපතිවරයා අතීතයේදී නිතරම කියූ ඇමතිට ඉහළින් ලේකම් තැබීම සිදුනොවිය යුතු අතර, ඇමතිගේ පෞද්ගලික ලේකම් අමාත්‍යාංශයේ ලේකම්ට අණ දීමද සිදුනොවිය යුතු තත්ත්වයකි.
ජනතාව බලා සිටින්නේ රාජ්‍ය ආයතනවල මුහුණු මාරු වී සුපුරුදු කාර්යය දිගින් දිගටම කෙරෙන ආකාරය නොවේ. නිලධාරීන් මාරු වුණත් නොවුණත් ඔවුන් රටේ යහපතට කටයුතු කරන ආකාරය දැක ගැනීමටය. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ස්ථිර සේවකයන්ට රෙදි ඇඳගෙන ජීවත් වීමට වටපිටාවක් නිර්මාණය කර දිය යුතුය. රූපවාහිනිය යන නම පවා විනාශ වෙන තැනට මෙම මැතිවරණයේදී කටයුතු යෙදිණි. ජනාධිපතිවරණය දිනයේදී සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වන බව හැඟවෙන බවට ප්රවෘත්ති ප්‍රකාශය වුණි. අවසානයේ මැතිවරණ කොමසාරිස්වරයාට රූපවාහිනියට ගොස් එහි සභාපතිවරයාට වරද නිවැරදි කරන්න යැයි කියන්නට සිදුවිය. ඒ හඬ රූපවාහිනියේ ලොබියටද ඇහුණු බව කියවෙයි.
මේ නිසා රූපවාහිනිය බින්දුවේ සිට ගොඩ ආ යුතුය. එය එසේ නොවී යළිත් මහින්ද වෙනුවට මෛත්‍රී යන තැටිය වාදනය වුවහොත් වැඩක් නැත. ස්වාධීන රූපවාහිනී සේවය වඩාත් දරුණු ලෙස දේශපාලනීකරණය වූ ආයතනයයි. එය චන්ද්‍රිකා රජයේ සිටම දරුණු විය. මේ නිසා ස්වාධීන රූපවාහිනිය ස්වාධීන විය යුතුය. මාධ්‍ය නිදහස සපථ කළ නව ජනාධිපතිවරයා රාජ්‍ය මාධ්‍ය නිදහස් කළහොත් කටකතාවට හෝ අතේ පැළවෙන බොරුවලට ජනතාව හසුනොවනු ඇත. මෙහිදී මෙම ආයතනවල ප්රවෘත්ති අංශයන්හි ප්‍රධානීන් බවට පත්වන්නන්ට දැඩි වගකීමක් තිබේ. ඒ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් කීමයි. මෙය එක රැයින් නැතත් දින 100 අවසන් වනවිට හෝ සිදුවිය යුතු තත්ත්වයකි.
ජනාධිපතිවරයා සමග උදේ කෑමකට හෝ තේ බීමට විද්‍යුත් ජනමාධ්‍ය ප්‍රධානීන්ට සහ පුවත්පත් කර්තෘවරුන්ට ආරාධනා එවන්නේ නැති කාලයක් ඉදිරියේදී පැමිණෙනු ඇත්නම් එයද වැදගත්ය. එය කුමන ආකාරයකින් වුවද සිදුනොවිය යුතු තත්ත්වයකි. දෙසැම්බරයේ ජනාධිපතිවරයාගේ උදේ කෑමට සහභාගී වූ ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් භාගයක් හෝ ඊට දින කීපයකට පසු මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා විසින් කළ ආරාධනයට සහභාගී නොවීමෙන් මේ රටේ ජනමාධ්‍ය නිදහස කොතරම්ද කියා දැකගත හැකි විය. එහෙයින් නව ජනාධිපතිවරයා දෙන බව කියන නිදහස දෙන්නේ නම් ඇතිය. උදේ කෑම හෝ රෑ කෑම අවශ්‍ය නැත. මැතිවරණ සමයේ බස් රථ යොදා ආණ්ඩු පක්ෂයේ ප්රචාරක රැලිවලට ගෙන්වා ගත් සෙනඟ සහිත ඡායාරූප පුවත්පත්වල පළ නොවන්නේ ඇයිද යන්න විමසූ ඉහළ නිලධාරීහු වූහ. කුන්ඩසාලේ අසුන හෝ දිනාගත නොහැකි වූ තිස්ස අත්තනායක සහ පළාත් සභා මැතිවරණයේදී කොළඹින් වැඩිම මනාප ගත් හිරුණිකා දෙපැත්තට මාරු වූ දිනයේදී ඔවුන් දෙදෙනා සමාන වූයේ කෙසේදැයි ප්‍රශ්න කරන ලේකම්වරු වූහ. මැතිවරණයකදී වැදගත් වන්නේ ජනතාවගේ ප්‍රසාදය මිස තානාන්තර නොවන බව 09 දා උදෑසන මේ පිරිසට තේරුම් ගියා නම් වැදගත්ය. රූපවාහිනී නාලිකා, පුවත්පත් පමණක් නොව දැන්වීම් මාර්ගයෙන්ද මහින්ද රාජපක්ෂගේ රැලිවලට මහා ජන ගඟක් එන්නේ යැයි කියා සෙනඟ දැක තමන්ගේ මතය වෙනස් කරන මිනිස්සු තවමත් ශ්‍රී ලංකාවේ සිටී යැයි විශ්වාස කළ නිලධාරීහු සිටියහ. ඔවුන්ගේ ඇස් දැන්වත් ඇරෙනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි.
වෙනස් විය යුත්තේ මෙවැනි මොන්ටිසෝරි තත්ත්වයන්ය. මේ රටේ ජනතාව බුද්ධියෙන් ඉහළ යැයි පිළිගන්නා දේශපාලඥයන් පිරිසක් සහ නිලධාරීන් පිරිසක් මේ රටට අවශ්‍යය.
ජ්‍යෝතිෂයේ බොරුව පරාජය වීම
ජ්‍යෝතීර්වේදීන් යැයි කියා මේ රටේ ජනතාවගේ මතය වෙනස් කරන්නට හදන පිරිස පරාජයට පත්වීම ඉතා වැදගත්ය. චන්ද්‍රසිරි බණ්ඩාර වෙඩි තබා නොගැනීම වැදගත් වුවත්, ඔහුගේ ප්‍රකාශය සමග බොරු අනාවැකිවලට ඉඩක් නොමැති බව පැහැදිලි විය. මහින්ද රාජපක්ෂ අතෙහි දරා සිටි ජය කුන්තයද ජනතා බලය හමුවේ පරාජය වන බව දැකගත හැකි විය. මේ නිසා ජ්‍යෝතිෂය වන්දිභට්ට කලාවක් වීමෙන් බේරාගත් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය දැකගත හැකි විය. හොඳම දවස් ලබාදී, හොඳම නැකැත් ලබාදී නාමයෝජනා දෙන්නට යනවිට ජනාධිපතිවරයාට වැඳනමස්කාර කර පිටත් කළ සුමනදාස අබේගුණවර්ධනයන්ට සිදුවූ දෙයද ඛේදජනකය.
නක්ෂත්රකරුවන්ගේ සහාය ජනාධිපතිවරයා ලබාගන්නා බව ප්‍රකට වීම හරහා රටේ සියලු තැන්වලට මෙය බලපෑම් කළේය. නක්ෂත්රකරුවන්ට හොඳ කලක් උදාවිය. ඕනෑම නරකක් කොට එයින් බේරීමට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට හැකියාවක් තිබේ යැයි විශ්වාසයක් ඇති විය. මෛත්‍රීපාල සිරිසේන අභියෝගයකට ලක්කර පරාජයට පත්කරන්නේ මේ විශ්වාසයයි. දැන් ජනතාව තේරුම් ගන්නා දෙය නම් නරකක් කළොත් යන්ත්‍ර මන්ත්‍ර ගුරකම්වලින් එක් වරක් දෙවරක් ගැලවුණද, අනිවාර්යයෙන්ම ඊළඟ වතාවේදී දඬුවම් ලැබෙන බවයි. මේ මතය සමාජගත වීම රටක් වශයෙන් දියුණු මිනිසුන් වශයෙන් ඉදිරියට යෑමට අත්‍යවශ්‍ය සාධකයක්ම වන්නේය.
අමතක නොකළ යුතු සත්‍යය
මේ පෙරළී යන්නේ මහින්ද රාජපක්ෂ පාලනය නොවේ. එම පාලනයෙන් මේ රටට ලැබුණු හොඳ බොහොමයක් තිබේ. මේ පෙරළී යන්නේ මහින්ද රාජපක්ෂගේ ක්‍රමයයි. 2010 න් පසු ඔහු අනුගමනය කළ ක්‍රමයයි. එහෙයින් එයට අනුගතව සිටින ජනතාවත්, නිලධාරී පැළැන්තියත්, දේශපාලඥයාත් එයින් මුදවා ගැනීම පළමුව සිදුවිය යුතුය. දුන් පොරොන්දු ඉටුවිය යුතු අතර ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය යුතුය.
යහපාලන දිනපොතේ යමක් කරනවා කියූ දිනයට ඒ දෙය එලෙසම ඉටුවිය යුතුය. නැත්නම් අප්‍රේල් මාසයේදී ජනතාවට යළිත් අවස්ථාවක් ලැබේ. විශේෂයෙන්ම හිටපු, එහෙත් දඬුවම් නොලැබූ පුනුරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ නායකයන් ගැන පාලකයන් දැඩි අවධානයෙන් සිටිය යුතු වෙයි. වෙන දෙයක් නිසා නොව කෙනෙකුගේ කූට අරමුණු වෙනුවෙන් මොවුන්ගේ මග පෙන්වීමෙන් ඉතා සුළු කොටසක් හෝ යළි වැරදි මගට වැටුණහොත් එය යුද්ධයක් යැයි අර්ථ ගැනීමට හැකි වීමයි. බලයට බොහෝ කැමැත්තෙන් සිටින පිරිස් මෙවැනි ආයුධ හෝ භාවිත නොකරනු ඇතැයි සහතික දිය හැකිද?
තවත් කරුණක් තිබේ. සිංහල බෞද්ධ බලවේග කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන සුළු ජාතියේ බහුතරයෙන්ද, මහ ජාතියේ සුළුතරයෙන්ද ජනාධිපති වූ බවයි. මේ කල්පනාවෙන් මිදෙන්නට කාලය පැමිණ තිබේ. ඒ අනුව මහින්ද සිංහල ජනාධිපති මෛත්‍රී අනෙක් අයගේ ජනාධිපති නොවේ. මේ මුස්ලිම් ජාතිකයන් පසුගිය මැතිවරණ සෑම එකකදීම සිටියේ මහින්ද සමගය. හකීම්, බද්යුදීන් ඇමතිවරු වී සිටියහ. එහෙයින් දැන් ජාතිකත්වයක් එළියට දමා ගැනීමේ වැදගත්කමක් නැත. දෙදෙනාම රායප්පු ජෝසප් හිමිපාණන්ගෙන් ආශීර්වාද ගත්තාක් මෙන් පාප්තුමන් පැමිණි විටද ඒ ආශීර්වාදයම ගනු ඇත. මල්වතු අස්ගිරි හිමිවරුන්ගෙන්ද ආශීර්වාද ගනු ඇත. මුස්ලිම් මෞලවිවරුන්ගෙන්ද ආශීර්වාද ගනු ඇත. එහෙයින් මහින්ද යනු දෙමළා පරාජය කළ ජනාධිපති සහ මුසල්මානුවාගේ බලය මොට කළ ජනාධිපති ලෙස කෙනෙකු අර්ථ ගන්වන්නේ නම් එය වැරදිය. මහින්ද යනු ත්‍රස්තවාදය පරාජය කළ ජනාධිපතිය. උතුරේ ඇති වුවත් දකුණේ ඇති වුවත් ත්‍රස්තවාදය නම් ත්‍රස්තවාදයමය.
අමතක නොකළ යුතු අනෙක් දෙය නම් ජනතාවගේ මුදල් කොල්ලකා ගත් පිරිස් සිටින්නේ නම් ඔවුන් හෙළි කිරීමයි. ඒ සඳහා පාප් වහන්සේගේ සංචාරය නිමා වූ සැණින් කටයුතු ඇරඹෙන්නේ නම් වැදගත්ය.
එසේම පසුගිය සමයේ සිටි අතිශය සුදු චරිත රටින් පැනයන්නට හදන්නේ ඇයිද යන්න ගැනද ජනතාව අවදියෙන් සිටිය යුතුය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැදමුලනේ තනිකර, ඔහු වටා සිටි පිරිස පැන යන්නට උත්සාහ දරන්නේ ඔහුව නැති කළේ වටේ සිටි පිරිස බව තහවුරු කරමිනි. මේ පිරිස අල්ලාගෙන නීත්‍යනුකූලව දඬුවම් දීමට මෛත්‍රී ආණ්ඩුවට නොහැකි වුවහොත් ඔවුන් හොරකම් කළ බව තහවුරු වන්නේ නැත.
ප්රජාතන්ත්රවාදයට නතු වූ රටක් පාලනය කිරීමට 'රජෙක්' අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ජනතා නියෝජිතයෙකි. ජනතා සේවකයෙකි. ඒ ජනතා නියෝජිතයාගේ දරුවන්, සහෝදරයන් සහෝදරියන් ජනතාවට වැදගත් නොවේ. ඔවුන් කන්නේ මොනවාද රටේ ආර්ථික තත්ත්වය ගැන ඔවුන්ගේ අදහස් මොනවාද මේවා මේ රටේ ජනතාවට වැදගත් නොවේ. රජෙකුගේ පවුල වැදගත් වුවත් ජනතා නියෝජිතයෙකුගේ පවුල රටකට වැදගත් නැත.
ඒ නිසා මහින්ද රාජපක්ෂ රජෙකුට අන්දවා ඔහුගේ පවුලට ආවැඩූ ආකාරයෙන්ම මෛත්‍රීවත් අන්දවා, ඔහුගේ පවුලට ආවඩා යමක් කර ගන්නට කෙනෙකු උත්සාහ කරයි නම්, එය එසේ වෙයි නම් එය අප විශ්වාස කරන වෙනස නොවේ. අපට අවශ්‍ය වන්නේ ජනතා නියෝජිතයෙකු පමණි. වසර 6 ක් තමන්ට පැවරුන වගකීම ඉටුකර හිස් අතින් ගෙදර යන්නෙකි. ගෙදර ගිය පසු පක්ෂයේ නායකකම ගන්නේ කෙසේද? නැවත පාර්ලිමේන්තුවට එන්නේ කෙසේද? තමන්ගෙන් පළිගත් අයගෙන් පළිගන්නේ කෙසේද? තමන්ට බැරි නම් තමන්ගේ විශ්වාසවන්තම ඇමතිවරයා ජනාධිපතිකර බලය ගන්නේ කෙසේද? යන්න සිතමින් සිටින්නෙකු නොවේ.
මෛත්‍රී තම ධුර කාලයෙන් පසු හිස් අතින් ගෙදර යනු දැකීම මේ රටේ බුද්ධිමත් මිනිසාගේ ප්‍රාර්ථනයයි. එය එසේ නොවුණහොත් රට අභාග්‍යයට ගමන් කරනු ඇත. එවිට යළිත් බුද්ධිමත් මිනිසා අරගලය අරඹනු ඇත. එවැනි අරගලයක් ඇති නොවන්නට කටයුතු කිරීමට මෛත්‍රී පාලනයකට හැකි වනු ඇතිදැයි අපි සියලු දෙනා අවදියෙන් බලා සිටිමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd