මේ ආණ්ඩුව දැන් මල්ශාලා දෙකක් අතර තියෙන්නේ දෙකෙන් එකකට හෙට අනිද්දා ඇතුල් වෙනවා
මහනුවර ඇති වූ සිදුවීම අවසන් වුවද විවිධ පාර්ශ්ව විසින් විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් වෙත එහි චෝදනා එල්ල කරමින් පවතී. එහිදී ප්රබලතම චෝදනාවක් ලෙසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙයට සම්බන්ධ බවට ආණ්ඩු පාර්ශ්වයෙන් චෝදනා නගති. ඒ සම්බන්ධව හා වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සමග කළ සංවාද සටහනකි මේ.
Q වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධව ඔබේ අදහස
රට ඉතාම අරාජික තත්ත්වයක තියෙන්නේ. පෙබරවාරි 10 වැනිදා මැතිවරණයෙන් පස්සේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ආණ්ඩුවට තවදුරටත් ඒ ප්‍රතිපත්ති දියත් කරමින් ඉදිරියට යාමට අයිතියක් නැහැ. රටේ සිදුවෙන දේවල් දිහා බැලුවහමත් එය ඔප්පු වෙලා තියෙනවා.
Q මහනුවර ඇති වූ සිදුවීම සම්බන්ධව ඔබ දකින්නේ කොයි ආකාරයෙන්ද
පුරවැසියෙක් විදියට ලැජ්ජාවක්, බරපතළ කනගාටුවක් අපට තියෙනවා. අනිත් පැත්තෙන් මීට මාසයකට පෙර ආණ්ඩුවේ දේශපාලන පරාජයක් වුණා. අම්පාරේ සිද්ධියත්, බැඳුම්කර වංචාවටත්, එජාප නායකත්වයටත් රටේ ජනතාව සහ පක්ෂයේ සාමාජිකයන් ගෙන ආ විරෝධය නතර වෙලා තියෙනවා. මහනුවර සිද්ධියත් එක්ක මේ දේවල් සමාජය කතා කරන එක සම්පූර්ණයෙන් නතර වුණා.
Q ඔබ චෝදනා නගන්නේ මහනුවර සිදුවීමට එජාපයේ යම් සබඳතාවක් තියෙන බවටද
මං කලින් කිව්වනේ මේ සිදුවීම් නිසා සියලු දේශපාලන මාතෘකා යටපත් වෙලා තියෙනවා. මේකෙ නිර්මාතෘ කවුද කියලා තවම සැකයක් පමණයි තියෙන්නේ.
Q වාසුදේව නානායක්කාර මහතා පවසා තිබුණා මෙයට ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක්ගේ සබඳතාවක් තිබෙන බවට
මට තවම එතුමා සමග සාකච්ඡා කරන්න හැකි වුණේ නැහැ. මමත් ප්‍රවෘත්තිවලින් තමයි දැක්කේ එතුමා එහෙම කියනවා. එතුමා ළඟ සාක්ෂි තියෙනවා කියලා එතුමා කියනවනේ. ඒවා ඉදිරියේදී ඉදිරිපත් කරයි.
Q නමුත් ආණ්ඩුවෙන් චෝදනා නගන්නේ ඒකාබද්ධ විපක්ෂය මෙහි පිටුපස සිටින බවට නේද
එය සම්පූර්ණයෙන් අසත්‍යයක්. මේ අය බලන්නේ වරද කාගෙ හරි අතේ පටවලා ඇඟ බේරගන්න. පිරිසක් කියනවා මේක ගෝඨාභය රාජපක්ෂ හදපු කණ්ඩායමක් කරපු වැඩක්ලු. තවත් පිරිසක් කියනවා දිලුම් අමුණුගමලා මෙයට සම්බන්ධයිලු. දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා බොහොම පැහැදිලිව කිව්වා මේ මහනුවර සිද්ධියට තමන් සම්බන්ධ බවට එම ප්‍රදේශයේ එක මුස්ලිම් පුරවැසියෙක් කිව්වොත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙනවා කියලා. හැමවෙලේම ආණ්ඩුව මුව හමක් හොයන්නේ. මේ ආණ්ඩුව දැන් මල්ශාලා දෙකක් අතර තියෙන්නේ. දෙකෙන් එකකට හෙට අනිද්දා ඇතුල් වෙනවා කියන එක බොහොම පැහැදිලියි.
Q ජනාධිපතිවරයා මෙම සිදුවීම සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙනවා නේද
කමිටු පත්කරන එක නෙමෙයි මෙතන තියෙන ගැටලුව. ඉතිහාසයෙත් මෙවැනි සිදුවීම් වෙලා තියෙනවා. හැබැයි පළමු වතාවට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්රීවරුන්ම මේ ආණ්ඩුවට කොන්ද පණ නැහැ කිව්වා. පොලීසියට දොස් කිව්වා. මහින්ද මහත්තයගේ කාලයේ මෙවැනි දෙයක් වුණා නම් පොලීසියට, හමුදාවට නෙමෙයි මහින්ද මහත්තයටයි ඇඟිල්ල දිගු කළේ. දැන් ආණ්ඩුව හැම වෙලේම කාටහරි වරද පටවලා නිදොස් වෙන්න උත්සාහ කරනවා. ගමේ භාෂාවෙන් කියනවා නම් මේ ආණ්ඩුව %කොර වෙච්ච^ ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට ගමනක් නැහැ කියලා යළි ඔප්පු වෙලා තියෙනවා.
Q හිටපු ජනාධිපතිවරයා දන්වා තිබුණා හදිසි තත්ත්වය මත රජයට උදව් කරන්න සූදානම් කියලා. එසේ උදව් ලබාගැනීමක් සිදුවුණාද
නැහැ. වැඩිය ඕන නෑ මහින්ද මහත්තයා විපතට පත්වුණ අය බලන්න යනකල් අගමැතිවරයට යන්න බැරිවුණා. අපියි පාර්ලිමේන්තුවේදි සියලු දෙනා ඒකාබද්ධ වෙලා කටයුතු කරමු කියලා යෝජනා කළෙත්. එතකොටයි කථානායකවරයා ඒ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කළේ. ආණ්ඩුව දේශපාලන සතුරන් මර්දනය කරන්න මේක පාවිච්චි කළා මිසක විපතට පත්වෙච්ච ජනතාවට උදව් කරන්න, ගැටුම මැඬපවත්වන්න එච්චර උනන්දුවක් තිබුණේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය තමයි පෙරට ආවේ.
Q මේ සිදුවීමත් සමග සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය කොයිතරම් කාලෝචිතද
ඇත්තටම ඒක ඛේදවාචකයක්. ඇත්ත වශයෙන්ම නීතිරීති ගෙනත් සමාජ මාධ්‍ය වැරදියට පාවිච්චි කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා ඇරෙන්න සමාජ මාධ්‍යයට දඬුවම් කරන එක වැරදියි. ලෝකේ අනිත් රටවල එවැනි ප්‍රශ්න තියෙනවා. ඒ රටවල අදාළ නීති සම්පාදනය කරලා තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව කළේ සමාජ මාධ්‍ය තහනම් කරපු එක. මැතිවරණ ප්‍රකාශන දෙකක ෆ්‍රී වයිෆයි දෙනවයි කියපු ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කරනවා. තව දෙයක්, මේ ආණ්ඩුව බලයට පත්වුණ වෙලාවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමාජ මාධ්‍යයට ස්තුති කළා. ඒ අය තමයි ජයග්‍රහණයේ පුරෝගාමීන් කියලා කිව්වා. අද ඒවම තහනම් කරලා තියෙනවා. කළගුණ සැලකීම ඉතා හොඳයි.
Q සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන බව පැවසූ නීතිය හා සාමය අමාත්‍ය ධුරය රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලබාදීම තුළ යම් ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා නේද
විහිළුකාර කැබිනට් සංශෝධනයේ මෙය තවත් එක් දෙයක් පමණයි. මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති. ඒකට උත්තරේ ඔළුෙගඩි මාරු කරන එක නෙමෙයි. රංජිත් මහත්තයා මගේ හොඳ මිත්‍රයෙක්. ඒක වෙනම කතාවක්. හැබැයි ඔහුටත් ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ප්‍රතිපත්ති. ඒකයි ගැටලුව.
Q අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන බව පැවසූ විශ්වාසභංගය මිත්‍යාවක්ද
අපි රට ගැන හිතන දේශපාලනයක් කරන්නේ. රට ගිනිගත් වෙලාවක ඒ ගින්න නිවන්න මැදිහත් වෙන්නෙ නැතුව දේශපාලන බලය තමන්ගේ වාසියට යොදාගන්නා ප්‍රාථමික දේශපාලනයක් අපි කරන්නේ නැහැ. මහනුවර සිද්ධිය නිසයි එය පමා වුණේ. එහෙම නැතුව රනිල් මහත්තයට තියෙන ආදරයටවත්, න්‍යාය පත්‍රය අකුලා ගැනීමේ වුවමනාවකටවත් නෙමෙයි. ඉදිරියේදී එය ගෙන එනවා.
Q එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගේ සහාය ලැබෙන බවට මත පළවෙනවා
පැහැදිලිවම යම් පිරිසක් සහයෝගය දක්වයි කියලා අපි විශ්වාස කරනවා. ඔවුන් අපි සමග ඒ සම්බන්ධව සාකච්ඡා පවත්වලා තියෙනවා.
Q පළාත් පාලන මැතිවරණය පවත්වා මසක් ගතවී තිබෙන නමුත් තවමත් සභා පිහිටුවීමට නොහැකි වෙලා තියෙනවා
ඒක මේ රජයේ නොහැකියාව. ඒ විතරක් නෙමෙයි පළාත් පාලන මැතිවරණය පවත්වලා මාසයක් ගතවෙලා තියෙනවා, තවමත් නිල අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරගන්න බැරි වෙලා තියෙනවා. අඩුම ගානේ ජයග්‍රහණය කළ සභාවත් පිහිටුවන්න බැරි වෙලා තියෙනවා. ආණ්ඩුවේ රෝගීභාවය මැනගන්න තවත් එක් උදාහරණයක් ඒක. ඒ නිසා කථානායකවරයා, පළාත් පාලන අමාත්‍යවරයා, නීතිපතිවරයා පළාත් පාලන ආයතන අස්ථාවර වීමට වගකියන්න ඕන.
Q පොදුජන පෙරමුණේ ආණ්ඩුවට එරෙහි ජන අරගලය කල් දමන්නට සිදුවූයේ ඇයි
එයටත් හේතුව මහනුවර සිදුවීමයි. තව නොබෝ දිනකින් යළි එය ආරම්භ වෙනවා. මේ ආණ්ඩුවට ජනතාව කියල තියෙන්නේ ජනවරමක් නැහැ ගෙදර යන්න කියලා. ඒක ගාණක් නැතුව බලයේ ඉන්නවා නම් අපි ඒ ජනමතය රට පුරා ගෙනියන්න ඕන. මේ ආණ්ඩුවේ ගමන නතර කරන්න ඕන. ඒ ගමන නතර කරවීමේ ව්‍යාපාරය වෙනුවෙන් තමයි මේ රැස්වීම් මාලාව සංවිධානය වන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


