මම පක්ෂ මාරු කරන්නේ නෑ ඉවත් වුණොත් මට සිනමාවේ ජොබි එක තාම තියෙනවා
දූෂණ, වංචා විමර්ශන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිය පක්ෂය හා ආණ්ඩු පාර්ශ්වය විවේචනය කරන්නේ යැයි හේතු කරගෙන ඔහුට සිය පක්ෂයෙන් ඉවත් වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
ඒ සම්බන්ධව සිය පාර්ශ්වයෙන් අදහස් විමසීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙලෙස 'අද'ට සම්බන්ධ කර ගතිමු.
Q නියෝජ්‍ය අමාත්‍යතුමා, ඇත්තටම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙන්න කියලා අග්‍රාමාත්‍යවරයා ඍජුවම ඔබට ප්‍රකාශ කළාද?
ඔව්. පසුගිය සිකුරාදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කිව්වා. ඊට පෙර දින හිල්ටන් හෝටලයේදී එක්සත් ජාතික පක්ෂයේ වැඩමුළු කිහිපයක් තිබුණා. මට ඒකට යන්න බැරි වුණා. එතකොට පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා මට කතා කරලා කිව්වා, ''අන්න ඔයාගේ නම කියලම කිව්වා, ආණ්ඩුවේ ඉන්න හොරු අල්ලන්නෙ නෑ කියලා විවේචනයක් කරනවා රන්ජන් රාමනායක ඇමතිවරයා, ඒ හින්දා එයාට අස්වෙලා යන්න කියලා මම නියෝග කරනවා කියලා කිව්වා.'' කියලා.
''ඊට පස්සෙ කට්ටියම ඒකට අත්පුඩි ගැහුවා, ඔයාගෙ යාළුවො සේරම අත්පුඩි ගැහුවා, මම නම් අත්පුඩි ගැහුවෙ නෑ.'' කියලා පාලිත මට කතා කරලා කිව්වා. ඒක මට තුන්වැනි පාර්ශ්වයකින් කියූ දෙයක්. කෘත්‍යාධිකාරියේදී නම් මං ඉද්දිම මගේ මූණටමයි කිව්වෙ. සිරිකොත ඇතුළෙදි සුජීව සේනසිංහ පටන් ගත්තා කතාව. ඔහු තමයි ප්රශ්නය මුලින්ම ඇද්දෙ. ඔහු කිව්වා 'බැඳුම්කර වංචාව නැත්ත වෙනුවට ඇත්ත' කියලා පොතකුත් ලිව්වා පක්ෂය රැකගන්න.
නමුත් පක්ෂයේ ඉන්න ඇතැම් අය බැඳුම්කර වංචාව ගැනයි, හොරු අල්ලන්නෙ නැති එක ගැනයි විවිධ අර්ථකථන දෙනවා කියලා. ඊට පස්සෙ තමයි නායකතුමා තද වෙලා කතා කළේ. නායකතුමා කිව්වා, “ආ ඔව්, මේ ප්රශ්නය ගත් එක හොඳයි.
බැඳුම්කර එකේ ජනාධිපති කොමිසමක් දාලා තියෙනවා. ඒක හරියට වෙනවා. රන්ජන් ඇමතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා ආණ්ඩුවේම ඉඳගෙන ආණ්ඩුවේ අපි හොරු රකිනවා කියලා. ආණ්ඩුවේ ඉඳගෙනම මෙහෙම කරන්න බෑ. ඒ හින්දා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා මේක කරන්න. ආණ්ඩුවෙන් යන්න.'' කියලා කිව්වා.
ගයන්ත ඇමතිතුමා මට කිව්වා නැගිටලා උත්තරයක් දෙන්න කියලා. එහා පැත්තෙ හිටපු ඉම්තියාස් මහත්තයා කිව්වා නායකතුමා කියන ප්‍රකාශය අහන් ඉන්න කියලා. එතකොට මම වචනයක්වත් නොකියා නායකතුමා කියන දේ අහගෙන හිටියා. පසුගිය ටිකේම මේ හොරු අල්ලන ප්රශ්නය නිසා පක්ෂයේ අයව විවේචනය කරනවා කියලා දිගටම ප්රශ්නය මට ආවා.
ජෝන් අමරතුංග මහත්මයාගේ ඇවිදින මංතීරු ප්‍රශ්නයට, ඇවන්ගාඩ් ප්‍රශ්නයට, තව අපේ පක්ෂයේ වෙන වැරදි ගැන ස්වයං විවේචනයකනෙ මම හැමදාම හිටියෙ. මම ඒ දේවල් කළේ පක්ෂය රැක ගන්න මිසක් පක්ෂය අමාරුවේ දාන්න නොවේ. අපේ පක්ෂය ප්රජාතන්ත්රවාදී පක්ෂයක් කියලා කියනවා.
එතකොට පක්ෂය ඇතුළෙ ඉඳගෙන ඒක කියන එක මට හිතෙනවා පිට කට්ටියව පෙන්වනවාට වඩා හොඳයි කියලා. ඉතිං මගේ ව්‍යායාමය කොහොමහරි ආණ්ඩුවට පෙෂර් එක දීලා මේ හොරු අල්ලන වැඩේ සක්‍රීයව කරන්න. මම එදා පාර්ලිමේන්තුවේ කළ කතාවට තමයි මේ දේ වුණේ.
Q ඔබතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීම තුළ හා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීම තුළ දෙපැත්තේම හොරු ආරක්ෂා වෙනවා කියලා?
ඒක ඉතිං ජනතාව දරන මතයක්. මම කියන දෙයක් නොවේ. අපේ පක්ෂයේ මම තමයි වැඩිපුරම අල්ලස් හා දූෂණ වංචා කොමිසමට ෆයිල් අරගෙන ගියේ. ඉතිං ගමට ගියාම ජනතාව මගෙන් අහනවා කෝ හොරු ඇල්ලුවාද කියලා.
Q ඇත්තටම ආණ්ඩුව ඇතුළෙන් හොරු ආරක්ෂා වෙනවාද?
මෙහෙමයි පසුගිය ආණ්ඩුව එක්ක ගත්තාම අපි හොඳ තැනක ඉන්නවා. 'වෝල්ටර් තල්ගොඩපිටිය' කියලා 1956 දී කොමිසමක් දැම්මා. 1956නෙ බණ්ඩාරනායක මහත්මයා බලයට ආවෙ. එතුමාගේ කැබිනට් මණ්ඩලයේ හිටියා 12 දෙනෙක්. එතකොට එදාත් මේ අපේ ආණ්ඩුවල, ගිය ආණ්ඩුවල හිටියා වගේ වංචා දූෂණවලට අහුවුණා කැබිනට් ඇමතිවරු.
මේ රජය හැමවිටම බෝලේ පාස් කරනවනෙ අපි උසාවියට දානවා, අපි නීතිපතිට දාලා තියෙන්නෙ, නීතිපති දෙපාර්තමේන්තුවේ තමයි ප්‍රමාදය තියෙන්නෙ කියලා. එතකොට නීතිපති එකෙන් කියනවා හරියට නඩුව දැම්මේ නෑ, බ්‍රයිබරි එකෙන් කියනවා අපි නඩුව දැම්මා, අපට පරීක්ෂණ පවත්වන්න තව කල් යනවා කියලා. බරපතළ වංචා විමර්ශන දූෂණ කොමිසම කියනවා අපට ප්‍රතිපාදන නෑ කියලා.
සමහරු කියනවා කාමර නෑ කියලා. සමහරු කියනවා පොලීසියේ නිලධාරීන් නෑ කියලා. තව සමහරු කියනවා බැඳුම්කර විෂයය අලුත් එකක්. ඒ නිසා අලුතෙන් පටන් ගන්න ඕන කියලා. එතකොට දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියයි, වැලිඅමුණ මහත්මයි කියනවා ඩුබායි ගියා, ඒක හරියට හදාගෙන නැහැ, ඩුබායි රජයෙන් ප්‍රතික්ෂේප කළා කියලා.
පැනමා සිදුවීම් ගැන, මොරිසස් දූපත්වල බැංකු ගැන, ඩුබායිවල ගිණුම් ගැන මේ සේරම කියනවා විතරයිනෙ. එතකොට බණ්ඩාරනායක මහත්තයලට මේ තාක්ෂණය තිබුණෙ නෑනෙ, ඒ කාලෙ. ඒත් මං හිතන්නෙ ඒ අයට උවමනාව තිබුණා.
පාර්ලිමේන්තුවේදී මම කිව්වේ අපට අවශ්‍ය රොඩ්රිගො දුතාර්තෙ වගේ මැතිවරණ පොරොන්දු ඉෂ්ට කරන නායකයෙක් කියලා. ඒක මේ අගමැතිතුමාටවත්, ජනාධිපතිතුමාටවත් අපහාසයක් නොවේ.
පසුගිය ටිකේ රටවල්වල රොඩ්රිගො දුතාර්තෙලා, අන්නා හසාරෙලා එතකොට හොඳම උදාහරණය මම කිවුවෙ එදා ආනෝල්ඩ් ඩී. රෝසා කියන කෙනා ඒ කියන්නෙ කියුබානු නිදහස් සටනේ අන්තිමට ඉතුරු වුණු හයදෙනා. ඒගොල්ලො තමන්ගෙ ජනරාල්වරයාට පවා දඬුවම් දුන්නා.
Q ඒ කියන්නෙ ආණ්ඩුවට අවශ්‍යතාව තියෙනවා නම්, සොරුන් ඇල්ලීම මේතරම් ප්‍රමාද වන්නේ නෑ?
නෑ. කිසිම හේතුවක් නෑ. මේ ජරාජීර්ණ වුණු දේශපාලන ක්රමයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ යාළු මිත්‍රකම් තියෙනවා කියලායි ජනතාව කියන්නෙ. අපි හිතමු දේශපාලන ක්ෂේත්‍ර‘යේ සහ පාර්ලිමේන්තුවේ අවුරුදු 30ක්, 40ක් හිටියම යාළු මිත්‍රකම් ඇති වෙනවානෙ පක්ෂවල.
මගේ ප්‍රධාන තර්කය වුණේ දැන් කුකුළන් හොරකම් කරපු අහිංසක මිනිහෙකුට අවුරුදු 02කට නඩු තීන්දුවක් දීලා තිබුණනෙ.
පොල් ගෙඩි 06ක් හොරකම් කළාට අවුරුදු එකහමාරක්. නමුත් අපි දන්නවා පසුගිය ටිකේ දේශපාලන පක්ෂවල නායකයන්ට ආව චෝදනා කුකුළෙක්, පොල් ගෙඩියක් නොවේ බිලියන ගාණක චෝදනා. ඒවා ඇත්තටම කොමිසමක් දාලා කරන්න පුළුවන් වාර්තාවලින්. හොඳම උදාහරණය තමයි 'වෝල්ටර් තල්ගොඩපිටිය වාර්තාව.'
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැනි අය දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී පවා ඔබතුමාගෙන් ප්‍රශ්න කළා, චෝදනා කළා රාජපක්ෂ ආණ්ඩුවේ හොරු අල්ලන්න උනන්දු වෙනවා වගේම වත්මන් ආණ්ඩුවෙ හොරු ගැනත් සොයා බලන්න කියා. දූෂණ වංචා චෝදනා ඇති විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු පවා ඔබතුමා හාස්‍යයට ලක්කළා. දැන් ඔබතුමාගේ පක්ෂය ඇතුළෙන්ම විරෝධයක් ඇතිවීමෙන් ජනතාවට හිතෙන්න පුළුවන් නේද යහපාලන රජය සොරුන්ට පක්ෂපාතියිද කියලා?
ඔයා ඔහොම කියද්දි මට ඒකට එකඟ නොවී ඉන්න බැහැ. ඒ කියන්නේ මම එක උදාහරණයක් කියන්නම්. මාව හම්බ වෙන්න ආවා කෙනෙක් ගාමිණී සෙනරත්ගෙ හොඳම මිත්‍රයෙක්. එයා ජනවාරි 08ට ඉස්සෙල්ලා බැංකු 04කින් කෝටි 1,200ක් ආපසු අරගෙන තිබුණා.
දවස් දෙකක් ඇතුළත මේ පුද්ගලයාව මම ජනාධිපතිතුමා ගාවටම ගෙනිච්චා. 2015 අගෝස්තු, සැප්තැම්බර් වගේ කාලයේදී . CCTV කැමරාවලින්, ඩිපොසිට්ස් ක්ලිප්ස්වලින් සේරම ඔප්පු වුණා. නමුත් ඒක එහෙම් පිටින්ම යටගියා.
Q එවැනි අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන්න ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් සිදුවුණේ නැද්ද?
දැන් ජනාධිපතිතුමත් කියනවානෙ මට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙන්න මාස 03කින් මං අල්ලනවා කියලා. ඉතිං එතැනම තියෙනවානෙ අවුලක්. දැන් එතුමාට කතා කරද්දී එතුමා කියනවා මට ඒ අමාත්‍යාංශය දුන්නොත් මම හොරු අල්ලලා පෙන්වනවා කියලා. මම නොවෙයි මේ කියන්නෙ ජනාධිපතිතුමා කියන්නෙ. රටේ ජනාධිපතිතුමා කියන්නෙ මට දෙන්න අමාත්‍යාංශය මං අල්ලලා පෙන්වන්නම් කියලා.
Q ඔබතුමා පක්ෂයෙන් ඉවත් වෙනවාද?
පක්ෂ නායකතුමාට අපි යටත්. එතුමාගේ තීරණය අවසාන තීරණය. එතුමාට අභියෝග කරන්න මට බෑ. මම සාමාන්‍ය නියෝජ්‍ය ඇමතිවරයෙක්. අගමැතිවරයාගේ නියෝගයට පිටුපාන්න මට බලයක් නෑ.
Q එතකොට ඔබතුමා ආණ්ඩු පක්ෂයෙනුත් ඉවත් වීමක් සිදු වෙනවාද?
නෑ. මට තනතුර දීලා තියෙන්නෙ ආණ්ඩු පක්ෂයෙන්, මම දිවුරුම් දීලා තියෙන්නෙ ජනාධිපතිතුමා ඉදිරිපිට. මම දන්නෙ නෑ එතැනදි නීතිය කොහොමද කියලා. මට මන්ත්‍රී ධුරය දීලා තියෙන්නෙ දෙලක්ෂ දහසයදහසක ජනතාව. අංක එකට මනාප ලැබුණෙ මට.
නමුත් පක්ෂයේ සාමාජිකත්වය දීලා තියෙන්නෙ අගමැතිතුමා. මන්ත්‍රී ධුරය මට තියෙනවා. මන්ත්‍රී ධුරය දීල තියෙන්නෙ ජනතාව. නමුත් මට නාම යෝජනා දීලා තියෙන්නෙ අගමැතිතුමා.
එතුමා මට තවම ඇමතුමක් දුන්නේ නෑ. සමහර විට විනය කමිටුව මාව කැඳවයි. හැබැයි ඉතිං ඒ කැඳවුවත් පක්ෂ දෙකේම අයගේ ෆයිල්ස් ටික මගේ ළඟ තියෙනවා. ඔප්පු කරන්න පුළුවන්. මම නිකන් මේ කියන්නන්වාලේ කියපු දෙයක් නොවෙයි.
ෆයිල්ස් එක්ක සියලුම තොරතුරු මා ළඟ තියෙනවා. ඒ වගේම අවුරුදු දෙකහමාරක් කිට්ටු වෙන්න ආවනේ ආණ්ඩුව බලයට ඇවිල්ලා. ඉතිං ජනතාව බලන් ඉන්නවා, ජනවාරි 08 පොරොන්දු වුණු දේවල්. මම කියපු දේවල් ඉල්ලා අස්කර ගන්නෙ නෑ, ඒවායේ තොරතුරු මා ළඟ තියෙනවා.
Q මේ තත්ත්වයත් එක්ක වෙනත් පක්ෂයකට සම්බන්ධ වෙන්න ඔබතුමාට ඉල්ලීම් ලැබිල තියෙනවාද මේ වෙනකොට?
අනේ නෑ. පක්ෂ මාරුව මම ප්‍රතික්ෂේප කරන දෙයක්. නරේන්ද්‍ර මෝදි මහත්මයා කිව්ව දේ තමයි මට කියන්න වෙන්නේ. එතුමාගෙන් ඇහුවනෙ ''ඔබතුමා මේ ඡන්දෙදි පැරදුණොත් මොකද කරන්නෙ?'' කියලා. එතකොට කිව්වනෙ ''මට තේ කඩේ ජොබ් එක තවම තියෙනවා.'' කියලා.
Q ඒ කියන්නෙ ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉවත් වුණොත් රඟපෑම කරගෙන ඉන්නවා?
නෑ, නෑ. මම පක්ෂ මාරු කරන්නෙ නෑ, ඒය මගේ ප්‍රතිපත්තිය. මට සිනමාවේ ජොබ් එක තවම තියෙනවා. ජනප්‍රියම නළුවා 11 වතාවක් ලැබිලා තියෙනවා. මගේ මේ හැම ව්‍යායාමයක්ම රජය ආරක්ෂා කිරීමට මිසක් රජය විනාශ කිරීමට නොවෙයි. මේ හැම ප්‍රෙෂර් එකක්ම දෙන්නෙ හොරු අල්ලන ක්‍රියාදාමය 'ෆාස්ට් ට්‍රැක්' එකේ යන්නයි.
Q ඔබතුමා ඔය කතාව අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේ නැද්ද?
එතුමාට පැහැදිලි කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒ කියන්නේ මට ප්‍රසිද්ධියේ බැනවැදීමක් විතරයි ලැබුණෙ.(සිනහසෙමින්) මට කරුණු කියන්න අවස්ථාවක් ලැබුණොත් එතුමාට ඒක කියන්න මම මේ ෆයිල්ස් සූදානම් කරගෙන හදාගෙන ඉන්නවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

