ආණ්ඩුව ජනතා බලාපොරොත්තු අමතක කරමින් කටයුතු කරනවා
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත්කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ඍජුවම මැදිහත්වීමක් සිදුනොකළද එවකට පැවැති ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණ සමයේදී විශාල මතයක් ගෙන ගියේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත් වූ පසු රට ගොඩනැගීම උදෙසා පිහිටු වූ ජාතික විධායක සභාවද නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණ රටට වැදගත් යෝජනා ගණනාවක්ද විධායක සභාව හරහා ඉදිරිපත් කළේය. නමුත් එම යෝජනාවලින් බොහොමයක් රට තුළ ක්‍රියාවට නැංවූයේ නැත. මේ නිසා රටට අතිශය වැදගත් වන යෝජනා 20 කින් සමන්විත කඩිනම් ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවලිය ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඉදිරිපත් කර, එය රට තුළ ක්‍රියාත්මක කර ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. මේ පිළිබඳව %අද^ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග කතාබහක නිරත විය.
Q කඩිනම් ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කරන්න හිතුවෙ ඇයි?
ජනවාරි 08 වැනිදා එවකට පැවැති මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට මෙරට දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් විශේෂ කාර්යභාරයක් කළා. එහිදී සියලුම දෙනාට ඕන වෙලා තිබුණේ රාජපක්ෂ මහතා අනුගමනය කළ නරක දේශපාලන, ආර්ථික ප්‍රතිපත්ති පරාජයට පත්කිරීමටයි.
මේ අනුව ජනතාව අලුත් පාලකයන්ගෙන් ඉතාමත් කඩිනම් ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ගණනාවක් බලාපොරොත්තු වුණා. ඒ කියන්නෙ ප්රජාතන්ත්රවාදය, නිදහස, ජනතාවගේ දැවෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සහිත පුළුල් පරිවර්තනයක්. නමුත් බලයට පත් වර්තමාන ආණ්ඩුව එම කරුණු කෙරෙහි අවධානය යොමුකර වේගවත් පරිවර්තනයක් සිදුකරනවා වෙනුවට වෙනත් කටයුතු සිදුකරමින් සිටිනවා. මේ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, නීතිඥයන්, පරිසරවේදීන්, වෘත්තියකයන් ඇතුළු විද්වතුන් එකතු වෙලා කරුණු 20 කින් යුත් කඩිනමින් ඉටුකළ යුතු යෝජනා මාලාවක් ඉදිරිපත් කළේ.
Q එම යෝජනා මාලාවට ඇතුළත් වෙලා තියෙන්නේ කුමක්ද?
ගොඩනැගී තිබෙන ආණ්ඩුව වේගයෙන්ම සිදුකළ යුතු යෝජනා මාලාව තුළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට අදාළව සිදුකළ යුතු කරුණු ගණනාවක් තියෙනවා. උදාහරණ ලෙස කියනවා නම් විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම, නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීම, කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම හා බල ගැන්වීම හා අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා කිරීම ඇතුළු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ එයට ඇතුළත් වෙනවා. මීට අමතරව නීතිමය ප්‍රතිසංස්කරණ ගනණාවක් පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා සිදුකළ යුතු දේවල් පිළිබඳව යෝජනාද මේ තුළින් ඉදිරිපත් කරලා තියෙනවා. එමෙන්ම පසුගිය කාලයේ සිදුවූ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය දේපළ, මුදල් නාස්ති කළ පිරිස් නීතිය හමුවට පැමිණවීම සහ මහජන දේපොළ නැවත අත්පත් කර ගැනීමට අවශ්‍ය යෝජනා මේ තුළ ඇතුළත් වෙනවා. අධ්‍යාපනය, පරිසරයට අදාළ යෝජනා වැඩකරන ජනතාවගේ වැටුප් වැඩිවීම සම්බන්ධ යෝජනා මේ තුළ ඇතුළත් වෙනවා.
Q මෙම යෝජනා වර්තමාන ආණ්ඩුව පිළිගනී කියා සිතනවාද?
මේ කිසිම යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් කිසිසේත්ම බැහැර කරන්න බැහැ. මොකද ජනවාරි මාසෙ 08 වැනිදා ජනවරම ලබාගැනීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා ඔහු වටා එකතු වූ කණ්ඩායම ජනතාවට ලබාදුන් එකඟතාවල සම්පින්ඩනයක් තමයි මේ යෝජනා මාලාව තුළ අඩංගු වෙන්නෙ. මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවෙ වාඩිවීමේදී රටේ ජනතාව ලබාදුන් ජනවරමට හා එතුමා රටේ ජනතාවට ඉදිරිපත් කළ පොරොන්දු හා එකඟතාවන්ටත් මෙම යෝජනා මාලාව සමානයි. මේ නිසා මෙය ජනවාරි 08 වැනිදා ඇති වූ ජනවරම සමග සමපාතයි. ඒ වගේම පසුගිය මහ මැතිවරණයේදී ගොඩනගා තිබෙන ආණ්ඩුවෙ කණ්ඩායම මැතිවරණයේදී ජනතාවට කියන ලද කරුණු දෙස බැලුවත් මෙම යෝජනාවලට සමානයි. මේ නිසා වැදගත්ම දේ තමයි වර්තමාන ආණ්ඩුව ජනවරමට ගරු කරනවා නම් ජනවරම මත පිහිටා කටයුතු කරනවා නම් මෙම යෝජනා ඉක්මනින්ම ක්‍රියාවට නැංවිය යුතුයි.
Q යම් ලෙසකින් ආණ්ඩුව මෙම යෝජනා මාලාව ක්‍රියාත්මක නොකළහොත් කුමක්ද සිදුකරන්නේ?
Q ජනපති හා අගමැති ජනතාවට දුන් පොරොන්දු ඉටුනොකරන නිසාද මෙවැනි යෝජනා මාලාවක් ඉදිරිපත් කළේ?
ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ජනවරමක් ලැබුණෙ ඔවුන් ජනතාවට ලබාදුන් පොරොන්දුවලට අනුව. මේ නිසා ජනවරම ලබාගැනීම සඳහා ඔවුන් ලබාදුන් පොරොන්දු හා එකඟතා ඉටුකිරීමට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් බැඳී සිටිනවා. ඒත් දැන් සිදුවී තිබෙන්නෙ ඒවා පිළිබඳව නොබලන ස්වභාවයක්. ඒවා අත්හැරපු ස්වභාවයක්. ඒවා ඉටුකිරීම කල්මරණ ස්වභාවයක් තමයි ඇතිවෙලා තියෙන්නෙ. ඒක නිසා අපගේ වගකීම තමයි එදා ලබාදුන් ජනවරමට අනුව සකස් කළ යෝජනාව ශක්තිමත්ව රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත්වීම. ඒ දේ අප ඉදිරියේදී සිදුකරනවා.
Q යුද්ධය අවසන් වීමත් සමග ජාතීන් අතර සමගියක් ඇතිවෙලා නැද්ද?
යුද්ධය අවසන් වී ගෙවී ගිය වසර 06 ක කාලය තුළ ජාතීන් අතර සමගිය ඇති කිරීමට අවශ්‍ය කටයුතු කළේ නැහැ. සිදුකළේ එකිනෙකා අතර විරසකභාවය, එකිනෙකා අතර ක්‍රෝධය, වෛරය, වර්ධනය කරන දිසාවකට රට ගමන් කරවීම. ඒ නිසා යළි ජාතීන් අතර සංහිඳියාවට ගොඩනැගිය යුතු වෙනවා. එය කඩිනමින් සිදුවිය යුත්තක්.
Q මෙම යෝජනාවලිය ඉටුකිරීම සඳහා නිශ්චිත කාලයක් තිබෙනවාද?
මෙම යෝජනා ඉටුකිරීම සඳහා අපි නිශ්චිත කාලරාමුවක් යෝජනා කරන්නෙ නැහැ. හැබැයි ඇතැම් යෝජනා සතියක් වැනි කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. සමහර යෝජනාවලට වැළැක්විය නොහැකි ලෙස යම් කාලයක් ගත වෙනවා. උදාහරණයක් ලෙස කලාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ යෝජනාව සිදුකිරීම සඳහා යම් සැලකිය යුතු කාලයක් යනවා. ඒක නිසා තමයි අපි මෙම යෝජනාවලියට කාලරාමුවක් ඉදිරිපත් නොකළෙ. ඒත් අපි උත්සාහ කරන්නෙ උපරිම අඩු කාලයකින් මෙම යෝජනාවලිය රට තුළ ක්‍රියාත්මක කර ගැනීමට. ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම අප විසින් සිදුකරනවා.
Q ව්‍යවස්ථා ප්රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා යෝජනා කරන්නේ ඇයි?
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව තීරණය කළා අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 යි කියලා. නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් 40 කියලා. ඒත් පැවැති සාකච්ඡාවේදී අප පෙන්වලා දුන්නා අමාත්‍යවරුන් 30 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 ක් විය යුතුයි කියලා. එතනදී අප පෙන්වලා දුන්නා එක එක වර්ගයේ ඇමතිකම් හදන්න අවශ්‍ය නැහැ කියලා. දැන් බලන්න පත් වෙච්ච රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ටත් ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය අමාත්‍යවරුන් කියන්නෙ කවුද? නියෝජ්‍ය අමාත්‍යවරුන් කියන්නෙ කවුද? කියලා. නමුත් පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙක ලබාගැනීමේ අරමුණ නිසා අප පක්ෂයේ යෝජනාව ක්‍රියාත්මක කරගන්න බැරිවුණා.
ඒක නිසා අන්තිමට සිදුවුණේ අමාත්‍යවරුන් 30 ක් සහ රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් 40 ක් කියන සංශෝධනය ඇතුළුවීම. ඒ සංශෝධනය තමයි ආණ්ඩුවකට තිබිය හැකි අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව. නමුත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එම අමාත්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට තියෙනවා. ඒ අනුව තමයි අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 සිට 48 දක්වාත්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 සිට 45 දක්වාත් වැඩිකරන්නෙ. අපේ යෝජනාව තිබෙන්නෙ ඒ වගන්තිය ඉවත් කරන්න කියලා. මොකද පත්වන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක්ද? සභාග ආණ්ඩුවක්ද? තනි පක්ෂයක් හදන ආණ්ඩුවක්ද කියන එක නොමැතිව කවර ආණ්ඩුවක් වුවත් ඒ ආණ්ඩුවට තියෙන්නේ රට පාලනය කිරීමට නම් ඒ සඳහා නිශ්චිත විෂයන් තිබෙනවා. ඒ අනුව සමාන්‍ය ආණ්ඩුවකට පුළුවන් නම් ඇමතිවරුන් 30 කට රට පාලනය කරන්න, ජාතික ආණ්ඩුවක් හැදුවාම ඇයි එම සංඛ්‍යාව 48 දක්වා වැඩි කරන්නේ.
Q යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ඔබ පක්ෂය සඳහන් කරන්නේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ජනතාව අමතක කරමින් ගමනක් යනවා කියලද?
ජනාධිපතිවරයා පත්කර ගැනීමේදීත්, අගමැතිවරයා පත්කර ගැනීමේදීත් ජනතාවට විශාල අරමුණු, අපේක්ෂා, උවමනාවන්, බලාපොරොත්තු තිබුණා. දැන් සිදුවී තිබෙන්නේ පුරුදු පරිදි සෑම ආණ්ඩුවක් කළා සේම ජනතාවගේ බලාපොරොත්තු, අපේක්ෂාවන්, උවමනාවන් පසෙකලා වේගවත්ව කටයුතු කරමින් සිටිනවා. ඒ තමන්ගේ අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන්. ඒ නිසා තමයි දේශපාලන ව්‍යාපාර ලෙස අපටත්, සිවිල් පුරවැසියන් ලෙස කටයුතු කරන සියලුම දෙනාටත් අඩුම තරමින් ජනවාරි 08 වැනිදාත්, අගෝස්තු 17 වැනිදාත් ලැබුණු ජනවරමේ තියෙන ප්‍රධාන කාරණා ටිකවත් අරමුණ ටිකවත් ඉටුකර ගැනීමට මැදිහත් වෙන්න සිදුවෙලා තියෙන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

