ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව පසුගිය කාලයේ කතාබහ කරනුයේ වංචා හා දූෂණ පිළිබඳව නොබියව කතාකළ පක්ෂයක් ලෙසනි. නමුත් අද වනවිට ඔවුන් යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් පවතින බව විවිධ පාර්ශ්ව පවසයි. ඒ සම්බන්ධව හා වත්මන් දේශපාලන වතාවරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග කළ සංවාදයකි මේ.
Q වත්මන් දේශපාලන වාතාරණය පිළිබඳ ඔබේ අදහස?
විශේෂයෙන්ම මේ යහපාලන ආණ්ඩුව බලයට පත්වුණායින් පස්සේ ජනතාවගේ තිබුණු ලොකු බලාපොරොත්තු අද බිඳ වැටෙමින් තියෙනවා. අයවැය ගත්තොත් ආසන්නතම උදාහරණය විදියට නම් කරන්න පුළුවන්. මොකද මෑත කාලීන ආණ්ඩුවක් බැණුම් ඇහුවෙ නෑ මේ අයවැය ඉදිරිපත් කරපු හවුල් ආණ්ඩුව තරම්. ඒ නිසා ජනතාව පීඩනයට කලකිරීමට ලක්වෙලා තියෙන්නේ. ඒකත් එක්ක ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ ආණ්ඩුව යෝජනා කරන ආණ්ඩුක්‍රම සංශෝධන වගේ ඒවා තීරණාත්මක වෙන්න පුළුවන්.
Q අයවැයෙන් සහන නොලැබුණු බව පවසන්නේ ඇයි?
ආණ්ඩුව මේ අයවැය ගෙනාවෙ කරුණු දෙකක් එක්ක. එකක් ප්‍රධාන වශයෙන් උපාය මාර්ගිකව ආණ්ඩුවෙ තියෙන සැලැස්ම ඉදිරිපත් කරන්න, ඒක අපිට පැහැදිලිවම පේනවා. විශේෂයෙන් ලංකාවෙ විනිමය පාලනය, ඉඩම් පැවරීමට තියෙන අයිතිය සම්පූර්ණයෙන් ලිහිල් කරලා විදේශිකයන්ට ඉඩම් අත්පත් කරගන්න පුළුවන් ඉඩකඩ හදලා තියෙනවා. ආර්ථිකයෙන් සාමාන්‍ය ජනතාවට තිබුණු විශ්‍රාම වැටුප, සහනාධාර කපලා, අයිතිවාසිකම් නැති කරලා ජනතාවට දැවැන්ත බදු බරක් පටවලා තියෙනවා. ඒ වගේම ආයෝජකයන්ට විදේශිකයන්ට පහසුකම් හදන අයවැයක් මේක. ඉතින් ජනතාවට ලැබුණු දෙයක් නැහැ. සුළු රැකියා අයට සහ රජයේ සේවකයන්ට නැති ප්‍රශ්න ඇති කරලා තියෙනවා. එහෙම බැලුවම මේ අයවැය ප්‍රශ්න ගොඩක් ඇති කරපු අයවැයක්.
Q ඔබ පවසන්නේ පසුගිය ආණ්ඩුවේ අයවැය මීට වඩා ජනතාවට සුබදායී කියලද?
දෙකම සුබ නැහැ, දෙකේ වෙනසකුත් නැහැ. ඒ අය පවුලක් විදියට රට පාලනය කරා, මේ අය ඒ කටයුත්තම ඊට වඩා වැඩි ප්‍රමාණයකින් කරනවා. වෙනසකට තියෙන්නෙ එදා පවුලක් විසින් ආර්ථිකය හසුරවපු එක, අද ඒකම මිතුරු සමාගමක් විදියට හසුරුවනවා.
Q ජ.වි.පෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ තමාට සහ තම දරුවන්ට ජ.වි.පෙ විසින් නොසලකා හරින බවට ප්‍රකාශ කරලා තිබුණා?
ඒ ගැන අපිට කියන්න විශේෂ දෙයක් නැහැ. අපි කරපු දේවල් අපි දන්නවා. කරපු දේවල් කියලා කරලා නැහැ අපි. ඒවා ලකුණු දාගන්න කරනවත් නෙමෙයි. දේශපාලන පක්ෂයක් හැටියට අපේ සදාචාරය අපි උපරිමයෙන් රැකලා තියෙනවා. දන්න අය දන්නවා අපි මොනවද කළේ කියලා. පක්ෂයේ නායකයන්ගේ පවුල්වලට හරි, පක්ෂයේ සමාජිකයන්ගේ පවුල්වලට හරි, පක්ෂයේ හිටපු සහෝදරවරුන්ගේ පවුල්වලට හරි, අපි පක්ෂයක් විදියට කරන දේ මං හිතන්නෙ ප්‍රසිද්ධියේ කතා කළ යුතු දෙයක් නෙමෙයි. මොකද එය ප්රචාරක වාසි සඳහා කරන දෙයක් නෙමෙයි.
Q වීජේවිර මහත්මිය එලෙස පවසන්නේ යම් හේතුවක් නිසා වෙන්න ඇති?
ඒවා අපට අදාළ නැහැ. ඔබට ඒ සම්බන්ධව දැනගන්න ඕනෙ නම් එතුමියගෙන් අහලා බලන්න.
Q ජ.වි.පෙ. හිටපු සමාජිකයන් වන සෝමවංශ අමරසිංහ හා විමල් වීරවංශ එක්ව නව දේශපාලන ගමනක් යන්න සූදානමක් තිබෙන බව පැවසෙනවා?
ඒක ඒ අයගේ අයිතියක්. ඒ අය අද අපේ පක්ෂයේ නැහැනේ. පක්ෂයෙන් එළියට ගියාට පස්සේ ඔවුන් කරන කියන දේ ගැන අපිට වගකීමක් නැහැ. අපි වගකියන්නේ අපේ පක්ෂයේ ඉන්න අය ගැන විතරයි. ඔබ අහනව නම් අපේ පක්ෂයේ ඉන්න කෙනෙක් පක්ෂයක් හදනව නම් අන්න ඒකට මට උත්තරයක් තියෙයි.
Q නමුත් ඇතමුන් කියනවා එවැනි පක්ෂයක් බිහිවුවොත් ජ.වි.පෙ දෙවැනි බිඳවැටීම කියලා?
එහෙම හිතලා සතුටු වෙන අයට සතුටු වෙන්න අයිතිය තියෙනවා.
Q පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඔබ පක්ෂයේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද?
අපි කියන්නෙ සෑම කෙනෙකුටම දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා. ඔහුට අදාළව විදේශ ගමන් බලපත්‍ර සමිබන්ධව නීතිමය කාරණා තියෙනව නම් එය නීතිමය වශයෙන් සිදුවිය යුතු දෙයක්. නමුත් ඔහුට දේශපාලන වශයෙන් පළිගන්නව නම් අපි එයට එකඟ නැහැ. කිසිම කෙනෙක් දේශපාලන වශයෙන් පළිගැනීමකට ලක්විය යුතු නැහැ කියලයි අපේ ස්ථාවරය.
Q මැතිවරණයට පෙර ඔබ පක්ෂය වංචා දූෂණ සම්බන්ධ අය ගැන කතාබහ කෙරුවට අද තරමක් නිහඬ ඇයි?
එහෙම නෑ කියලා ඔබ කියන්නෙ කොහොමද? අපට වඩා හයියෙන් කෑගහන අය ඉන්නවද? එහෙම නෑනේ. එහෙම ඉන්නව නම් තමයි ඔබට මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්නේ. මං හිතන්නෙ අපි කරන්න පුළුවන් කාර්යභාරය කරනවා. අපට නෙමෙයි එහි වගකීම ඇත්තටම තියෙන්නේ මේ රජයටයි. පසුගිය කාලයේ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා, රටින් යන්න දෙන්නෙ නෑ කිවුවා. අපිට තියෙන්නෙ ඔවුන් ඒ දේ නොකරනව නම් එය හෙළිදරවු කරන එක. අපි එය කරනවා. ඉතින් ආණ්ඩුවෙ වගකීමයි ඉෂ්ට නොවන්නේ. ඔබ අහන ප්‍රශ්නේ සාධාරණ පැත්ත තියෙන්නෙ එතන. අද එවැනි ක්‍රියාවලියක් සිදු නොවන බව පෙන්නෙ ආණ්ඩුව නිසියාකාරව ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැති නිසයි.
Q ඔබ පක්ෂයේ නායකයා සහා වත්මන් රජය අතර ඩීල් පවතින බවට මත පළවෙනවා?
එහෙම කිසි දෙයක් තියෙනවා කියලා ඔප්පු කරලා නැහැ. දේශපාලන අවලාද කියන ඒවා අපි හොඳට දන්නවා. දේශපාලන මඩ ගැසීම් අපි හොඳට දන්නවා. ඒ වගේම දේශපාලනය කරන හැටිත් අපි දන්නවා. ඕවා කියන කට්ටියට තමයි ඩීල් තියෙන්නේ. ඔය කියන කට්ටිය තමයි බොරුවට විරුද්ධ වෙලා පස්සේ ගිහින් ශේප් වෙලා හුඟාක් ගනුදෙනු කරගෙන තියෙන්නේ. දේශපාලන වශයෙන් අපේ පක්ෂයේ නායකයන් ඔය කියන විදියේ ගනුදෙනු කරලා නැහැ. කියන දේ කෙලින් කියලා තියෙනවා, ඒ හින්දා අපට ඩීල් නැහැ. අපට ඩීල් තියෙන්නෙ මේ රටේ ජනතාව එක්ක විතරයි.
Q කෝප් කමිටුවෙ සභාපති විදියට ඉදිරි කාර්යභාරය කෙබඳුද?
අපි දැනටමත් ආයතන කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආයතන මීට කලින් මේ රටේ ජනතාවට ප්‍රසිද්ධ කිරීමක් කරලා නැහැ. නමුත් අපි පාර්ලිමේන්තුවෙ වෙබ් අඩවිවල පළකරලා තියෙනවා, මාධ්‍යවලට දීලා තියෙනවා. ඒ කැඳවන ආයතන පිළිබඳව මහජනතාවට අදහස් එවන්න පුළුවන්. බොහොම විනිවිදභාවයකින් අපි බලාපොරොත්තු වෙනවා රටේ ආයතනවල කාර්යසාධනය පිළිබඳව, කාර්යක්ෂමතාව පිළිබඳව, අවශ්‍ය පරීක්ෂාවන් සිද්ධ කරන්න. ඒ පරීක්ෂාවලදි සොරකම් කරන අය බය වුණාට නිවැරදි රජයේ සේවකයන් බියවිය යුතු නැහැ. ඔවුන්ගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදි අපේ රටේ රාජ්‍ය ව්‍යාපාරවල ලාභදායී තත්වයක් ඇතිවෙයි නම් ඒ ඇති වීමට අවශ්‍ය පරිසරය හදන්න අපි සූදානම්.