අපනයනය කරන නිෂ්පාදන ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් ආනයනය කරමින්, දේශීය නිෂ්පාදනය අවම මට්ටමක පවත්වාගෙන යමින් දශක ගණනාවක සිටම තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස පත්ව තිබෙන ශ්‍රී ලංකාව අද වන විට අධික ණය බර සහ ආර්ථික අස්ථාවරත්වය නිසා විවිධ පීඩාවන්ට ලක්වෙමින් සිටියි. මෙම අර්බුදයෙන් මිදීමට ව්‍යවසායකත්ව සංස්කෘතියක් මෙරට ඇතිවීම අත්‍යවශ්‍යය. නමුත් ඒ සියලු වැඩසටහන් රජයන් විසින් හුදෙක් මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමා කර තිබීම පැහැදිලිවම දැකගත හැකිය. ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව සංස්කෘතියක් කරා රැගෙන යාමේ වැදගත්කම පිළිබඳව අද මේ කතාබහ ගෙන එන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය රුක්මාල් වීරසිංහ සමගිනි.
?ව්‍යවසායකයෙක් සහ ව්‍යාපාරිකයෙක් අතර තිබෙන වෙනස කුමක්ද
ව්‍යාපාරිකයා යනු සාම්ප්‍රදායික ලෙස ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මිලදී ගැනීම් සහ විකිණුම් ක්‍රියාවලිය මත පමණක් යැපෙන පුද්ගලයායි. නමුත් ව්‍යවසායකයා කියන පුද්ගලයා ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඔහු පවතින සාම්ප්‍රදායික ව්‍යාපාරය වුණත් අලුත් විදිහකට කරන්න පෙළඹෙනවා. අලුත් දේවල්, අලුත් සේවා හඳුන්වා දෙනවා. ඒ ආකාරයෙන් නවෝත්පාදනය සහ නිර්මාණශීලීත්වය තමයි ව්‍යවසායකයාගේ ප්‍රධානතම විශේෂත්වයන් වෙන්නේ.
?පොදුවේ ගත්විට දැනට සිටින ව්‍යවසායකයන්ට සහ නව ව්‍යවසායකයන් බිහිවීමට ශ්‍රී ලංකාවේ පවතින්නේ හිතකර පරිසරයක්ද
ලෝකයේ අනෙක් රටවල ව්‍යවසායකයන් වෙත ලබාදෙන වටිනාකම්, අනුග්රහයන් වගේම ලෝක ශ්‍රේණිගත කිරීම් සමග සංසන්දනය කළොත් සහ යථාර්ථය දිහා බැලුවොත් මේ රටේ ව්‍යවසායකත්වයට පවතින්නේ ඉතාමත් කනගාටුදායක වාතාවරණයක්.
Easy of Doing Business කියන ලෝක ශ්‍රේණිගත කිරීම් අරගෙන බැලුවොත් 2018 වනවිට ශ්‍රී ලංකාව සිටින්නේ 111 වැනි ස්ථානයේ. අපිට වඩා ආර්ථික අර්බුද තිබෙන රුවන්ඩාව වැනි රටවල් සිටින්නේ 42 වැනි ස්ථානයේ. ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු කරගන්න වෙනත් රටවල උපරිම වශයෙන් දින 2ක් හෝ 3ක් ගතවන වැඩකට අපේ රටේ සති දෙක තුනක් පමණ යනවා. මේ සියල්ල එකම තැනකින් කරගන්න එක ආයතන පද්ධතියක් හෝ පවතින ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නැහැ. අල්ලසක් නැතිව වැඩක් කරගන්න බැහැ. නැගිටින ව්‍යවසායකයෙකුට
අත දෙන්න විධිමත් වැඩපිළිවෙළක් නැහැ. මුලදිම මනුස්සයෙකුට එපා කරවන පරිසරයක් තමයි මේ රටේ පවතින්නේ. අපි කොච්චර හංගගෙන ඉන්න හැදුවත් ආයෝජකයෝ මේ රටට එන්න අකමැති හේතුවත් මේකයි.
අද දියුණුවට පත්වෙලා තිබෙන රටවල් සහ රුවන්ඩාව වැනි රටක් ගත්තොත් ඒ රටවල සිටින අයට සහ පිටරටවලින් පැමිණෙන අයට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතාමත්ම පහසුයි. ඒක දින ගත වෙන ක්‍රියාවලියක් නොවෙයි. බැංකු ගිණුමක් ආරම්භ කිරීම පවා අපේ රටේ අපහසු වුණාට ඒ රටවල පහසුයි. ව්‍යවසායකයා රැකගන්න ශක්තිමත් වැඩපිළිවෙළක් තිබෙනවා. ආයෝජන අවස්ථා සුලභ කරලා තිබෙනවා.
?ලියාපදිංචියක් හෝ නොමැතිව අවිධිමත් ලෙස පවත්වාගෙන යන ව්‍යාපාර අද සුලභ වෙන්න මෙය හේතුවක් වෙලා තිබෙනවා නේද
පැහැදිලිවම. මේ විදිහට ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරිකයන්ට නිසි අනුග්‍රහයක් නොමැති වීම සහ අදාළ ආයතනික පද්ධතිවල අකාර්යක්ෂමතාව නිසා ඔවුන් ලියාපදිංචියක් හෝ නොමැතිව අවිධිමත් ආකාරයෙන් ව්‍යාපාර කරගෙන යනවා. ඒ ආකාරයෙන් සිදුකරන ව්‍යාපාර දියුණු වීමට ඇති ඉඩකඩ ඉතාමත්ම අඩුයි වගේම පවතින අවදානමත් වැඩියි. එවැනි අවිධිමත් ව්‍යාපාරයකට ආයෝජන අවස්ථා උදාවෙන්නේ නැහැ.
?බොහෝ අයට නව ව්‍යාපාර අවස්ථා පිළිබඳ අදහස් තිබුණත් මුදල් නොමැති නිසා ඒවා අත්හැර දමනවා. ඇත්තටම මෙතැනදි ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුදල් අත්‍යවශ්‍ය සාධකයක් වෙනවාද
මුදල් කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි. මොකද, සමහර ව්‍යාපාර ආකෘති තිබෙනවා මුදල් අවශ්‍ය නොවන සහ ඉතාමත්ම අඩු ආයෝජනයකින් ආරම්භ කිරීමට හැකියාව පවතින. නමුත් බොහෝ දෙනෙක් තුළ දකින්න ලැබෙන මතයක් තමයි සල්ලි නැතිව ව්‍යාපාර කරන්න බැහැ කියන එක. එවැනි සංස්කෘතියක් නම් අපේ තිබෙන්නේ ඒකට තමයි අපි පහසුවෙන් ඒ සඳහා මුදල් ලබාගත හැකි ක්‍රමවේද සහ අවස්ථා ඇති කළ යුත්තේ.
ඒ අවස්ථා ඇති කරන්න නම් තමයි ව්‍යවසායකයන්ට ව්‍යාපාරයක් ආරම්භ කරන්න පහසුවෙන් මුදල් ලබාගත හැකි ආකාරයෙන් අඩු පොලියකට බැංකු ණය පහසුකම් ලබාදීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම ඇති කරන්න අවශ්‍ය වෙන්නේ. නමුත් ණය නොවී ආයෝජන ඔස්සේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇති හැකියාව ඇති කිරීමත් වඩා වැදගත් වෙනවා.
ආයෝජන ක්‍රමවේද මගින් මුදල් තිබෙන පිරිස් හොඳ ව්‍යවසායකයන්ට ව්‍යාපාරය සිදුකරන්න ආයෝජනය කරනවා. එතැනදී සිදුවෙන්නේ ව්‍යාපාරය ලාභ ලබන විට ලාභය ව්‍යවසායකයාත්, ආයෝජකයාත් අතර බෙදී යාමක්. සමහර ආයෝජකයෝ සිටිනවා ඔවුන් ව්‍යවසායකයන් කිහිපදෙනෙක්ම එකතු කරගෙන ව්‍යාපාර සිදුකරගෙන යනවා. එමගින් බොහෝසෙයින් ලාභ ලැබෙනවා වගේම ව්‍යවසායකයා වෙත තිබෙන අවදානමත් අවමයි. නමුත් මෙවැනි ක්‍රමවේද මේ රටේ දකින්න ලැබෙන්නේ නැහැ, වගකිවයුතු අංශ මැදිහත්වෙලා ඒ සඳහා ක්‍රමවේද සකස් කිරීමක් සිදුකරන්නේ නැහැ වගේම අද දකින්න ලැබෙන සමහර ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවේද පවා ගසාකෑම් ඉලක්ක කරගත් ඒවා බවට පත්වෙලා තිබෙනවා.
?ව්‍යවසායකයෙක් නව දැනුමින් සන්නද්ධ වීමේ සහ විධිමත් ව්‍යවසායකත්ව අධ්‍යාපනයක් ලැබීමේ වැදගත්කම ගැන කතා කළොත්
වර්තමානයේදී තාක්ෂණය කියන දේ දවසින් දවස වෙනස් වෙනවා. ඒ නිසා ව්‍යවසායකයෙකුට නව තාක්ෂණික දැනුම කියන දේ අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. කෘෂිකර්මාන්තයේ නියැළෙන පිරිස් පවා නව තාක්ෂණික දැනුම සොයා යෑම වැදගත් වෙනවා. මොකද, අද වෙද්දී කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර, වගා ක්‍රම, නව ගුණාත්මක පොහොර වර්ග, පළිබෝධක හානි, පරිසර හානි වලට ඔරොත්තු දෙන සහ වැඩි අස්වැන්නක් ලබාගත හැකි නව ගුණාත්මක බීජ වර්ග වැනි දේවල් බිහිවෙලා තිබෙනවා.
සාර්ථක ව්‍යවසායකයෙක්ට අත්‍යවශ්‍ය අනෙක් අත්‍යවශ්‍ය සාධකය තමයි කළමනාකරණ දැනුම. සම්පත්, කාලය, මුදල් නිවැරදි සහ ප්රශස්ත ලෙසින් කළමනාකරණය කරගනිමින්, ස්ථිරසාර ලෙස ව්‍යාපාර දියුණුව වෙත ගෙන යන්න කළමනාකරණ දැනුම ව්‍යවසායකයෙකුට ඉතා වැදගත් වෙනවා. අද අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ රටේ ඉන්න මිලියන 20ට නෙවෙයි. ලෝකයට ගිහින් මිලියන 7,000කට යම් සාර්ථක නිෂ්පාදනයක් විකිණිය හැකි ව්‍යවසායකයන්. ඒ නිසා ව්‍යවසායකයා එක් සීමාවකට කොටුවෙලා එකතැන පල්වෙමින් ඉන්නේ නැහැ ඔහු දැනුමින් සන්නද්ධයි නම්. ඔවුන් නිරන්තරයෙන් නව අවස්ථා දකිනවා සහ ඒවා හඹා යනවා. මේ නව දැනුම සොයා යෑම අපේ රටේ අවම නිසයි අපේ ඉතාමත් වටින සාම්ප්‍රදායික කර්මාන්ත පවා අභාවයට ගිහින් තිබෙන්නේ.
?නිර්මාණශීලීත්වය හීන කෙනෙක්ට සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න බැරිද
ඕනෑම මිනිසෙක් තුළ නිර්මාණශීලීත්වය තිබෙනවා. නිර්මාණශීලී නොවුණත් තමන් නියැළෙන ක්ෂේත්රයේ පිළිබඳ හොඳ අවබෝධයක් පවතිනවා නම් සහ නව දැනුම සොයා යනවා නම්, ඒ පුද්ගලයාටත් හැකියාව තිබෙනවා ඒ දැනුම නිවැරදි ලෙස භාවිත කරලා ඒ ඔස්සේ ඉහළ සාර්ථකත්වයකට පත්වෙන්න. වැදගත් වෙන්නේ තමා තුළ සැඟවී තිබෙන එම හැකියාවන් ඉස්මතු කර ගැනීමයි. අධ්‍යාපනය තුළින් ලබන දැනුම තමයි ඊට උපකාරී වෙන්නේ.
?දියුණුව කරා යන්න අපේ ව්‍යවසායකයන් නිවැරදි කරගත යුතු, ඔබතුමා දකින දුර්වලතා මොනවාද
අපේ ව්‍යවසායකයන් බොහෝ දෙනෙක් තවමත් සිටින්නේ ව්‍යාපාරික මානසිකත්වයක. අපි කල්පනා කළයුතු මූලිකම දේ තමයි ව්‍යවසායකත්වය කියන්නේ හුදෙක් මිලදී ගැනීම සහ විකිණීම කියන ක්‍රියාවලිය නොවෙයි කියන කාරණය. ඊට තවත් එක්කළ හැකි වටිනාකම් බොහෝමයක් තිබෙනවා. මම කලින් කිව්වා වගේ අපේ අභාවයට ගිහින් තිබෙන සහ අභාවයට යමින් තිබෙන සාම්ප්‍රදායික කර්මාන්ත වෙත හොඳ ව්‍යවසායකත්ව දැනුමක් එක්වෙනවා නම් එය විශාල ලාභයක් ලැබිය හැකි හොඳ අවස්ථාවක් වෙනවා. නමුත් තවමත් කවුරුත් ඒ අවස්ථාව අරගෙන නැහැ.
ඒ වගේම ව්‍යාපාරික මානසිකත්වය තුළ සිටින නිසාම බොහෝ දෙනෙකුට විනය සහ ශික්ෂණය කියන දේ නැහැ. අතට එන සල්ලි ටික හිතුමතේ වියදම් කරලා එදා වියදම විතරක් සොයාගෙන යන පුද්ගලයාට කවදාවත් සාර්ථක ව්‍යාපාරයක් කරන්න ලැබෙන්නේ නැහැ. දිනෙන් දින අභාවයට යනවා පමණයි.
?ව්‍යවසායකයන් වුණත්, ව්‍යාපාරිකයෙකු වුණත් ණය මත යැපීමට යාම විශාල අවදානමක් නේද
පැහැදිලිවම ලංකාව වැනි රටවල ණය මත යැපීම විශාල අවදානමක් වෙනවා. ලෝකයේ හොඳම ව්‍යාපාර ගත්තත්, ආයෝජනය කරන මුදලට ලැබෙන ප්‍රතිලාභය හෙවත් ආර්.ඕ.අයි එක පවතින්නේ 10෴-15෴ත් අතර ප්‍රමාණයක. නමුත් ශ්‍රී ලංකාවේ බැංකු පොලිය පමණක් 15%කට වැඩියි. එතකොට ව්‍යාපාරයට ඉතිරි වෙන දෙයක් නැහැ. එවැනි තත්ත්වයක අපි ව්‍යාපාරයකට බැංකු ණයක් ආයෝජනය කළොත්, ව්‍යාපාරයකට එහි ආදායම මුළුමනින්ම බැංකු ණය ගෙවීමට වැය කරන්න සිදුවෙනවා. ඒ විදිහට ණය ගෙවන්න ගිහින් අවසානයේදී ව්‍යාපාර බංකොලොත්භාවයට පත්වෙලා විශාල ගැටලු රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා මුල් කාලයේ හොඳ කැපවීමකින් සහ දැනුම භාවිත කරලා කටයුතු කළොත් ව්‍යවසායකයෙකුට හෝ ව්‍යාපාරිකයෙකුට අවදානමක් නොමැතිව සාර්ථක ගමනක් යන්න හැකියාව තිබෙනවා.
?අධික ණය බරක් සහ යම් ආර්ථික අස්ථාවරභාවයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාව වැනි රටකට ව්‍යවසායකයන්ගේ ඇති වැදගත්කම පිළිබඳව පැහැදිලි කළොත්
ශ්‍රී ලංකාව අද මුහුණපා සිටින ආර්ථික අස්ථාවරභාවයට මූලිකම හේතුව වෙලා තිබෙන්නේ අපේ නිෂ්පාදනය ඉතාමත් අවම මට්ටමක තිබීම. මේ වෙද්දි අපි යම් ප්‍රමාණයක් අපනයනය කරද්දී එමෙන් දෙගුණයක් ආනයනය කරන තත්ත්වයට පත්වෙලා ඉන්නවා. එතැනදි නිරන්තරයෙන් තිබෙන්නේ සෘණාත්මක පරතරයක්. ඒ සෘණාත්මක පරතරය නැති කරන්න රටේ නිෂ්පාදන වැඩි වෙන්න ඕන. නිෂ්පාදන වැඩි කරන්න නම් රටේ හොඳ ව්‍යවසායකයන් බිහිවෙන්න ඕන.
අපේ රටේ සමහර කාලවල් තිබෙනවා ඇතැම් පලතුරු වර්ග, එළවළු වර්ග විසි කරන තත්ත්වයකට එන අතිරික්තයක් ඇතිවෙන. හොඳ ව්‍යවසායකයෙකු හිටියොත් ඒ අතිරික්තය ලෝකයට විකුණන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් කරලා අපනයනය කරනවා. ඒක රටට විශාල ආදායමක් හිමිවෙන කටයුත්තක් වෙනවා. පැහැදිලිවම මේ රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදාගන්න තිබෙන එකම ක්‍රමවේදය තමයි ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහිකිරීම.
?ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකයන් අධෛර්යට පත්වීමට වගකිවයුතු වෙන්නේ කවුද
මෙහි වගකීම ප්‍රධාන වශයෙන් පැවරෙන්නේ අප ජීවත්වෙන සංස්කෘතියට සහ අප දරන සමාජ ආකල්පයන්ට. අපට කවදාවත් ගෙදරින් කියන්නේ නැහැ ව්‍යවසායකයෙකු වෙන්න කියලා. අද පවතින අධ්‍යාපන ක්‍රමය තුළ වුණත් කරන්නේ රැකියාවකට මිනිසෙකු බිහි කිරීම මිසක් රටට වැඩදායී, රට ඉදිරියට ගෙනයන්න පුළුවන් සාර්ථක මිනිහෙකු බිහිකිරීම නෙවෙයි. ඒ නිසා මුලින්ම අප කළ යුත්තේ ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීම.
දේශාපාලඥයන් තමයි එහි පුරෝගාමියා විය යුත්තේ. නමුත් ඔවුන් ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැහැ. මොකද මේ රටේ තිබෙන්නේ හැමදාම වැජඹෙන දේශපාලඥයන්ට වන්දනාමාන කරන පීඩිත ජනතාවක් සිටින ක්‍රමයක් නිසා. ඒ ක්‍රමය තුළදී දේශපාලඥයා කිසිම අවස්ථාවක වෙනත් කෙනෙකුට ඉදිරියට එන්න ඉඩ ලබාදෙන්නේ නැහැ. නමුත් ජනතාවගේ ආකල්පමය වෙනසක් හරහා මේ වෙනස ඇති කළොත් ඒ තත්ත්වය අපට වෙනස් කරන්න හැකියාව පවතිනවා.