සෙනඟ ගෙන්වා බලය පෙන්වන මැයි දිනය අද
ලෝක කම්කරු දිනය සමරනු ලබන්නේ වැඩ කරන ජනතාව විසින් වුවද, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැයි රැලි 17 න් 11ක්ම දේශපාලන පක්ෂ ඍජුව මැදිහත් වී සංවිධානය කරන රැලි බවට පත්ව තිබේ. ප්‍රධාන පක්ෂ දෙක සහ ඒකාබද්ධ විපක්ෂය විසින් තම බලය පෙන්වීම මෙවර මැයි දිනය යොදා ගෙන ඇති බව පසුගිය සති කිහිපයේ දී මෙම පක්ෂවල ප්‍රබලයන් දැක්වූ අදහස් වලින් පැහැදිලිවිය.
මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය පෙන්වීමේ රැලිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදීත්, එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමේ රැලිය කොළඹ කැම්බල් පිටියේදීත් පැවැත්වේ.ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පිරිස් විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී සිය බලය විදහා දැක්වීමට සූදානමින් සිටියි.
ජනතා විමුක්ති පෙරමුණ කොළඹ බී.ආර්.සී. පිටියේදී තම මැයි රැලි පැවැත්වීමට සැලසුම් කර තිබේ. එහිදී සිය ප්‍රතිපත්ති අනුව පක්ෂය නොව කම්කරු ජනතාව ඉස්මතු කිරීමට ඔවුන් මෙවරද කටයුතු කරන බව වාර්තාවේ.
ජාතික හෙළ උරුමයේ මැයි රැලිය කොළඹ බෝධිරාජ මාවතේදීත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලිය කොළඹ කොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ තුළදීත්, දමිළ ප්රගතිශීලී සන්ධානයේ මැයි දින රැලිය නුවරඑළිය තලවාකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මේ ආකාරයට දේශපාලන පක්ෂ විසින් රැලි 11 ක් පැවැත්වෙන අතර, ඇතැම් පක්ෂ තම රැලිවලට පිරිස් ගෙන්වාගැනීම සඳහා විවිධ වරප්‍රසාද ලබා දී තිබෙන බවද වාර්තා වේ.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ( ඒකාබද්ධ විපක්ෂය) විසින් පවත්වන මැයිදින රැලි සඳහා ජනතාව ගෙන්වාගැනීම සඳහා දින කිහිපයක සිටම මාධ්‍ය හා වෙනත් ක්රමෝපායන් මගින් විශාල ප්‍රචාරයක්ද දියත් කර තිබේ.ප්‍රධාන පක්ෂ දෙක සහ ඒකාබද්ධ විපක්ෂය තම සංවිධායකවරුන්ට රැගෙන ආ යුතු සාමාජිකයන්ගේ ඉලක්ක ලබා දී තිබෙන අතර, එලෙස පැමිණෙන පිරිස වෙනුවෙන් ලංගම හා පෞද්ගලික බස් රථ යෙදවීමටද කටයුතු කර තිබේ.
මෙසේ පැමිණෙන බස් රථවල පහසුවට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා බස්රථවලට අද (01දා) මධ්‍යම රාත්‍රිය දක්වා නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇත.මැයි දිනය කම්කරුවන් විසින් සැමරිය යුතු වුවද, මෙවරද ප්‍රධාන පක්ෂ දෙකත්, ඒකාබද්ධ විපක්ෂයත් ප්‍රකාශ කරමින් තිබෙන්නේ විශාලතම ජනතා සහභාගිත්වය සහිත මැයි රැලිය තම පක්ෂය විසින් මෙවර පවත්වන බවයි. ඒ හරහා තමන්ගේ බලය රටට සහ විරුද්ධ පක්ෂවලට පෙන්වීමේ උත්සාහයක මේ පිරිස යෙදෙන බව පැහැදිලිය.
කෙසේ වෙතත් වෘත්තීය සමිති 06ක්ද කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි 06 ක් පැවැත්වීමට නියමිතව තිබේ.මේ අනුව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මැයි රැලිය කොළඹ 10 පිහිටි එම සංගම් කාර්යාලයේදීත්, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සංගමයේ මැයි රැලිය කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සතොස රථ නැවතුම්පොළේදීත්, ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ මැයි රැලිය කොළඹ ජෑන්ස් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.
මීට අමතරව ලංකා වතු සේවා සංගමයේ මැයි රැලිය හැටන් නගරයේදීත්, ජාතික වෘත්තීය සමිති පෙරමුණේ මැයි දින රැලිය නුගේගොඩ එළිමහන් රංග පීඨයේදීත්, ජනමාධ්‍යවේදීන්ගේ මැයි දින රැලිය අම්පාර නගරයේදීත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

