විදේශිකයන් මුහුණු පොතේ හා සමාජ වෙබ් ජාලා තුළ මෙන්ම නොයෙක් අවස්ථා තුළදී මහනුවර නගරය අධික වාහන තදබදයක් සහිත නගරයක් මෙන්ම අධික වායු දූෂණය සහිත නගරයක් බවට නම් කරන බැවින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මහනුවර නගරය ලෝක උරුම නගර තත්ත්වයෙන් ඉවත් කිරිමේ තර්ජනයක් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායනික විද්‍යාව පිළිබඳ සම්මාණිත මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරුම මහතා පවසයි.
“මහනුවර නගරය පිහිටල තියෙන්නෙ මිටියාවතක. නගරය වටේම තියෙන්නෙ කඳු වළල්ලක්. මහනුවර නගරයට දිනපතා වාහන ලක්ෂයක් පමණ පැමිණෙනවා. ඒනිසා අධික වාහන තදබදයක් ඇතිවෙලා තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලදී අපට වාර්තා වුණ තත්වය තමා මහනුවර නගරය ඉතාමත් ඉහළ වායු දූෂණ තත්ත්වයක් තියෙනවා කියල.
කොළඹ නගරය වායු දූෂණය සිදුවුණාට කොළඹ නගරය තැනිතලා භූමියකත් මුහුදට සමීපයේ තිබෙන නිසා වායුව විසිරිලා යනවා. නමුත් මහනුවර නගරය කඳු වළල්ලක් විසින් වට වෙලා තිබෙන නිසා එහෙම විසිරිලා යාමක් වෙන්නෙ නෑ. ඒ නිසා මහනුවර නගරයේ වායු දූෂණය කොළඹ නගරයට වඩා හතර පස් ගුණයකින් වැඩි බව කළ පරීක්ෂණවලදී අනාවරණය කරගැනීමට හැකිවුණා.
මෙයින් වඩාත් අවදානමට ලක්වෙන්නෙ කුඩා ළමුන් හා වැඩි මහල්ලන්. කුඩා ළමුන්ගේ පෙනහළුවල වර්ධනය වයස 15 දක්වා වෙන බැවින් මෙම කුඩා අංශු ශරීරගත විම නිසා පෙනහළුවලට දැඩි හානියක් ගෙන දෙනවා.
දැනට වාර්තාවෙලා තියෙනව වාහනවලින් පිටවන ඩීසල් දුම අංක එකේ පිළිකා රෝග කාරකයක් කියලා. මෙයින් වැඩිහිටියන් හා ළමුන් මේ රෝගයන්වලට ගොදුරුවීම තුළින් ප්‍රතිකාර සඳහා වැය වන්නේද රජය සතු මුදල්.
මේ සඳහා ඇති පිළියම් වන්නේ මහනුවර නගරය තුළ ඇති වාහන තද බදය අඩු කරලීම සඳහා නගරය තුළ වසා දමා ඇති මාර්ග විවෘත කිරීමත්, දුර ගමන් බස් රථ සේවා ඇරඹුම හා අවසානය නගරයෙන් පිටත අරඹා නගරයේ සිට එම ස්ථාන කරා ගමනාගමන පහසුකම් ඇති කිරිමත්, පාසල් ළමුන් හා වැඩිහිටියන් සෞඛ්‍ය තත්ත්වයන් යටතේ සකසා ඇති මුහුණු ආවරණ පැලඳීමත්.” යැයි ඉලේපෙරුම මහතා අවධාරණය කළේය.