8000ක ත්‍රිවිධ හමුදා සොයුරන්ට උත්තමාචාරය
ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ යථාතත්ත්වයට පත්කිරීමට හා අවතැන්වූ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 8,000කට ආසන්න පිරිසක් යොදවා ඇති බව යුද හමුදාව සඳහන් කරයි. මෙම පිරිසෙන් 400ක පිරිසක් නිලධාරීන් වන අතර, සෙසු පිරිස් ත්‍රිවිධ හමුදාවේ සෙසු නිලයන්ට අයත් නිලධාරීහු වෙති.
යුද හමුදාවට අයත් සාමාජිකයන් මාර්ග පිළිසකර කිරීම, අවහිර වී තිබූ මාර්ග යථාතත්ත්වයට පත්කිරීම හා ජලය බැසයෑමට අවශ්‍ය කටයුතු සිදුකිරීම වැනි කාර්යන්හි යෙදී සිටිති. මීට අමතරව සහන කඳවුරුවල සිටින පිරිසට හා ආපදාවන්ට ලක්වූ ජනතාවට අවශ්‍ය ආහාර පිසීමේ කටයුතු සහ වෛද්‍යාධාර ඇතුළු වෙනත් පහසුකම් ලබාදීම සඳහා තවත් දහසකට අධික පිරිසක් සේවයේ නිරතව සිටිති.
මෙම කටයුතුවලට අමතරව ජනතාව මුදා ගැනීම ඇතුළු පහසුකම් සැපයීම සඳහා නාවික හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් 111ක්ද ඊයේ (30දා) දිනය වනවිට රාජකාරියේ යොදවා තිබිණි.ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් 11ක්ද ඊයේ දිනයේදීත් ජනතාවට අවශ්‍ය සහන කටයුතු සඳහා යොදවා තිබූ අතර, භූමියේ සිදුවන සියලුම වෛද්‍යාධාර කඳවුරු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමද ගුවන් හමුදාව සිදුකරයි. ජලය බැසයෑමත් සමග ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා තවත් යුද හමුදා සෙබළුන් පිරිස් යෙදවීමට ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ආපදාව ඇතිවූ අවස්ථාවේ සිට භූමියේ රාජකාරි කටයුතු කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් මේ වනවිට මුදා ගැනීම් 12,000කට අධික ප්‍රමාණයක් සිදුකර තිබේ.මීට අමතරව එදා සිට අද දක්වා කාලය තුළද ආපදාවන්ට ලක්වූ ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමේ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෝ සිදුකරති.
අපදාවන්හිදී දිවි නොතකා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කැපවන ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත රටේ සියලු වැසියන්ගේ ගෞරවය සහ උත්තමාචාරය හිමි විය යුතු බව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සේවය අගය කරන සියලු රටවැසියන්ගේ අදහසයි.
දිවයිනට බලපෑ අයහපත් ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමට ඉන් පසුව ඔවුන්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත්කිරීමටත් යුද හමුදා සාමාජිකයන් අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එසේම නිල්වලා වේල්ල ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් ඔවුන් වැලි කොට්ට පිරවීමට කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

