මාවුස්සාකැලේ හා කාසල්රි ජල මට්ටම ඉහළට
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට සතියක පමණ කාලයක් තිස්සේ ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
ඒ අනුවඅද (30දා) උදෑසන 06.00 වන විට ඒවා පිටාර මට්ටමට පැමිණීමට අඩි 31 ක් හා 23 ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
මේ අතර පසුගිය කාලයේ ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීම නිසා ජලාශයට යටවී තිබුණු පැරණි මස්කෙළිය නගරයේ සිද්ධස්ථානවල නටබුන් සම්පූර්ණයෙන් මතුවී තිබුණි.
මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමගසමාධි බුදු පිළිමය හා කදිරේෂන් හින්දු කෝවිල නැවත ජලයෙන් යටවන අයුරු දැක ගත හැකිය.
අද පෙ.ව. 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මාවුස්සාකැලේ හා කැනියොන් ප්‍රදේශ වලටවර්ෂාව පිළිවෙලින් මිලී මීටර් 33ක් හා 60ක් වශයෙන් පැවති බව විදුලිබල මණ්ඩලය පවසයි. පවතින අධික වර්ෂාවත් සමග දින 06 ක පමණ කාලයක් තුළ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 06කින් පමණ වැඩිවී ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය හා විමලසුරේන්ද්‍ර යන විදුලිබලාගාර පහ සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ, මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
