කොල්ලුපිටියේ ‘මොනෑක්එපාර්ට්මන්ට්' එකේ නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත්,‘මොනෑක්එපාර්ට්මනට්' එකේ නිවස මිලට ගැනීමට කටයුතු කොට ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්යක්ෂධුර දරන සමාගමෙන් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02දා) පැවසීය.
‘මොනෑක්එපාර්ට්මන්ට්' එකේ නිවස පිළිබඳ තමන් මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේදී බව පැවසූ විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තමන් බිරිඳ හා දියණියන් තිදෙනා සමග හොඳ පවුල් ජීවිතයක් ගත කළද, සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද වැඩිදුරටත් පැවසීය.
කොමිසමෙන් දැනුම්දීම් කළ තුන්වැනි දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් පැය 4 1/2ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් කොමිසම හමුවේ ඔහුගේ සාක්ෂි විමසීය.
කොමිසමේ සාක්ෂි කූඩුවට ගොඩ වූ විගස කොමසාරිස්වරුන්ට ‘සුභ උදෑසනක්’ ප්‍රාර්ථනා කළ අමාත්‍ය රවි කරුණානායක මහතා මීට පෙර කොමිසමෙන් කළ දැනුම් දීමට අනුව කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව ඇයැද සිටියේය.
අර්ජුන් ඇලෝසියස් සහ රවි කරුණානායක එක හා සමාන කාලපරාසයක් තුළ අවස්ථා 13කදී සිංගප්පූරු ගිය බවත්, එක් අවස්ථාවකදී අමාත්‍ය රවි කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝසියස් එකම දින එකම ගුවන් යානයකින් සිංගප්පූරු ගිය බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වාර්තා පෙන්වනු ලැබූවද, තමාගේ මතකයට අනුව අර්ජුන් ඇලෝසියස් සිංගප්පූරුවේදී හමුවූයේ එක් අවස්ථාවකදී පමණක් බවත් ඉතිරි අවස්ථා පිළිබඳව තමාට මතකයක් නොමැති බවද කීය.
මේ අතර කොමිසමේ සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා, අමාත්‍ය රවි කරුණානායක මහතා අමතමින් මේ සියල්ලටම තමන්ගේ පිළිතුර වන්නේ ‘මා කිසිවක් දන්නේ නැහැ’ නේදැයි විමසූ විට ඊට ‘ඔව්’ යනුවෙන් අමාත්‍ය රවි කරුණානායක මහතා පිළිතුරු දුන්නේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු