චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Hepingfangzhou) නෞකාව සිවු දින සුහද සංචාරයක් සඳහා අද (06දා) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, එහිදී, නාවික සාම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්එම නෞකාව පිළිගන්නා ලදී.
එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයෝ විශාල පිරිසක්ද සිය රටේ නෞකාව ඇතුළු පිරිස හරසරින් පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයට පැමිණ සිටියහ.
ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීමේ අරමුණින් යුතුව මෙම නෞකාව නිර්මාණය කර ඇති අතර, උසස්ම තාක්ෂණයෙන් පරිපූර්ණ මෙම නෞකාව ‘ආර්ක් පීස්’ (Ark Peace) නමින්ද හඳුන්වනු ලැබේ.
මහජන චීන සමූහාණ්ඩුව විසින් නිර්මාණය කොට නිපදවා ඇති මෙම රෝහල් නෞකාව දිගින් මීටර් 178 ක් සහ පළල මීටර් 24ක් වේ. මෙහි 381 දෙනෙකුගෙන් යුත් නෞකා කාර්යය මණ්ඩලයක් රාජකාරී කරන අතර, ලොව පුරා සංචාරය කරමින් 120,000 කට වැඩි පිරිසකට මෙමගින් වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබේ.
නවීන පහසුකම්වලින් යුත් ශල්‍යගාර, දැඩි සත්කාර ඒකක, විශේෂඥ වෛද්‍ය සේවාවන්, නේවාසික ප්‍රථිකාර ඒකක, CT පරිලෝකන යන්ත්‍ර (Computerized Tomographymachine) ඇතුළු සියලුම වෛද්‍ය පහසුකම් මෙම නෞකාව සතුය. එමෙන්ම හදිසි අවස්ථාවකදී කඩිනමින් රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක්ද නෞකාව සතුව පවතී.
සිවුදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී, චීන නාවික හමුදාවේ නැගෙනහිර නාවික දියත් විධානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ගුආන් බේයිලින් මහතා, එහි අණදෙන නිලධාරී, කපිතාන් ගුඕ බඕෆෙන්ග් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවීමට නියමිතව තිබේ.