උමා ඔය නිරීක්ෂණයට ගිය ඇමති අමරවීර නිවාස අඩස්සියට
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උමාඔය බහු විනාශකාරී ව්‍යාපාරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් විසින් අද (03දා) සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා නිවසක් තුළ සිරකරගනු ලැබිණි.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් ආපදාවට පත් ප්‍රදේශ හා ජනතාව පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සංචාරයක නිරත වූ අතර, එහිදී මෙම සිදුවීමට මුහුණපෑමට සිදුවිය.
උමාඔය කරඳගොල්ල උමං මාර්ගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයට පැමිණි අමාත්‍යවරයා එහිදී ආපදාවට ලක් වූ ස්ථාන එකින් එක පරීක්ෂාවට ලක්කළේය.
එහිදී අවසන් නිවස පරීක්ෂා කළ අමාත්‍යවරයා එම නිවස තුළදීම හමුවූ උමාඔය බහුවිනාශකාරී ව්‍යාපාරයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා, මෙම ව්‍යාපාරය නවත්වන්නේද? එය තවදුරටත් ගෙනයන්නේදැයි විමසා සිටි අතර, තමාට ඒ පිළිබඳ විසඳුමක් ලබාදීමට බලයක් නොමැති බවත්, ඒ සඳහා ජනාධිපතිවරයා විසඳුමක් ලබාදිය යුතු බවත් අමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.
එවිට ඒ සඳහා නිසි විසඳුම් ලබානොදෙන්නේ නම් අමාත්‍යවරයාට නිවසින් පිටවී යාමට ඉඩ නොදෙන බව පැවසූ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රිවරයා ඇතුළු රැස්ව සිටි පිරිස අමාත්‍යවරයා නිවස තුළ රඳවාගෙන තිබේ. පසුව ආරක්ෂක අංශ ඇතුළු පිරිස් මැදිහත්වීමෙන් අමාත්‍යවරයා එම නිවසින් එළියට ගෙන තිබේ.
එදිනම සවස බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට අමාත්‍යවරයා නොපැමිණි අතර, පළාත් මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.
අමාත්‍යවරයා එතැන පැවැත්වීමට තිබූ සාකච්ඡාව අවලංගු කළ බව දැනගත් රැස්ව සිටි පිරිස ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුළ පැය භාගයකට අධික කාලයක් කලහකාරී ලෙස හැසිරී පසුව විසිර ගියහ.
එම සාකච්ඡාව අවලංගු කළද අමාත්‍යවරයා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බණ්ඩාරවෙල කාර්යාලයට පැමිණ එහිදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.
වැලිමඩ ගෞතම් / ලුණුගල ප්‍රසන්න පද්මසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

