උඩරට මැණිකේ දෙකඩ වෙයි
උඩරට මැණිකේ දුම්රිය අද (25දා) පස්වරු 2.15ට පමණ හැටන් දුම්රිය ස්ථානය පසුකර කිලෝමීටරයක පමණ දුර ධාවනය වෙමින් තිබියදී දුම්රියේ එන්ජිම එකවරම දුම්රිය මැදිරිවලින් ගැලවී ගොස් අඩි 50ක් පමණ දුරට ගොස් නතර වී තිබේ.
අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව තිබේ. එකවරම දුම්රිය මැදිරිවලින් එන්ජිම ගැලවි ගොස් නතර වී තිබේ. මෙම අනතුරෙන් දුම්රියේ ගමන්ගත් මගීන්ට කිසිදු අනතුරක් සිදුව නොමැත.
උඩරට මැණිකේ දුම්රියේ පසුපස එන්ජිම ක්රියාවිරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය ආරංචිමාර්ග සදහන් කරයි. පසුපස එන්ජිම අක්රිය වීම නිසා ඉදිරියට බලයක් ලබාදීමට නොහැකි වීමෙන් ඉදිරිපස එන්ජිම ගැලවී ගොස් ඇතැයි පැවසේ.
උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටි කෘෂිකර්ම උපදේශකවරයෙකු වන දිනේෂ් සේනාධිරත්න මහතා සිද්ධිය විස්තර කරමින් මෙසේ පැවසීය.
“උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානය පසුකරලා කිලෝමීටරයක්වත් ඉදිරියට ධාවනය වුණේ නැහැ. හැටන් හා කොටගල යන දුම්රිය ස්ථාන අතර වෙන්න ඇති. එකවරම විශාල ශබ්දයක් ආවා. ඒ සමග දුම්රියේ එන්ජිම දුම්රිය මැදිරිවලින් ගැලවි ගොස් අඩි 50ක් විතර ඉදිරියට ධාවනය වෙලා නතර වුණා.
තැලිතලා ප්රදේශයක් නිසා වාසනාවකට දුම්රියේ සිටි මගීන්ට කිසිදු අනතුරක් වුණේ නැහැ. කදු බැවුමකදී මෙම අනතුර වුණා නම් විශාල විනාශයක් වෙන්න ඉඩ තිබුණා. පසුව කාර්මික නිලධාරීන් ඇවිත් දුම්රිය එන්ජිම මැදිරිවලට සම්බන්ද කළා. නැවත් උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කළා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

