සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි මහනායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් ශ්‍රී ලංකා රජයත්, ලක්වැසි ජනතාවත්, ලෝකවාසී බෞද්ධ ප්‍රජාව ඇතුළු පිරිසත් සංවේගයට සහ කම්පනයට පත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ගෞරවනීය මහා ස්වාමීන් වහන්සේ කෙනෙකු ලෙස තිබූ ධර්ම ඥානය සහ භික්ෂූන් වහන්සේ නමක ලෙස උන්වහන්සේගේ චරිතය තුළ තිබූ නිවුණු සංසුන් ස්වභාවය සහ මහා කාරුණිකභාවය නිසා උන්වහන්සේ කාගේත් සිත් ගත් බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
94 වසරක ජන්ම කාලය තුළ වසර 80 ක් උන්වහන්සේ පැවිදි ජීවිතය තුළ භික්ෂූන් වහන්සේ නමක ලෙස මහා පරමාදර්ශී චරිතයක් වූ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
උන්වහන්සේගේ අපවත් වීම ලක්වැසි ජනතාව, ලෝක බෞද්ධ ජනතාව ඇතුළු ජනතාවට ඉසිලිය නොහැකි පාඩුවක් බවද ඔහු පවසා සිටියේය.
උන්වහන්සේ මහනායක පදවියට පත් වී මාස 11 ක් වැනි කෙටි කාලයක් මෙම තනතුර ඉසිලූ බවත්, මීට පෙර උන්වහන්සේ අනුනායක හිමිනමක ලෙස මහියංගණය, දඹුල්ල වැනි රජමහා විහාරස්ථානවල විහාරාධිපති ධුරයේ කටයුතු කළ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
සිය ශාසනික කාලය තුළදී සිදුකළ ශාසනික හා සමාජ සේවාවේදී උන්වහන්සේ සංඝ සමාජය තුළ කැපීපෙනෙන චරිතයක් බවට පත්වූ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. අස්ගිරි මහවිහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඊයේ (13දා) මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මේ අතර ඊයේ (13දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මහජාන නියෝජිතයන් රැසක් අස්ගිරි මහ නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගි වී සිටියහ. ආදාහන පෙරහර ගමන්ගත් මඟ දෙපස රැස් වූ අති විශාල ජනතාවක්ද මහනාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූහ.
මහනාහිමියන්ගේ දේහය ඉකුත් බ්‍රහස්පතින්දා (10දා) උන්වහන්සේ මහනායක පදවියට පත්වන්නට පෙර වාසය කළ උරුලෑවත්තේ පන්සල වෙත වැඩම කරවනු ලැබූ අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමි ඇතුළු කාරක සංඝ සභික හිමිවරු එහිදී දේහයට අවසන් ගෞරව දැක්වූහ. මහානාහිමියන්ගේ අවමගුල් උත්සවය පැවැත්වුණු ඊයේ (13දා) දිනය ජාතික ශෝක දිනයක් ලෙසින් නම් කොට තිබිණි.
අස්ගිරි මහා විහාරීය නිල ආරාමයේදී හදිසි අනතුරකට ලක්වූ මහනාහිමියෝ මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා (09දා) අපවත් වූහ.
වර්ෂ 1922 දී මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේසියපත්තුව ගලගම ග්‍රාමයේදී ජන්ම ලාභය ලද උන්වහන්සේ 1936 වසරේදී පැවිදි බිමට පිවිසියහ. වර්ෂ 1942 දී අස්ගිරි මහවිහාරීය මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා විනය කර්මයෙහි පිහිටු වූ උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රීය දැනුමෙන් හා ගුණ නුවණින් පෝෂිතව පරාර්ථ චර්යාවෙන් කටයුතු කළහ.
අස්ගිරි පාර්ශ්වයේ 22 වැනි මහනායකයන් වහන්සේ ලෙස පසුගිය වසරේ මැයි මස 08 වැනිදා එම පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහ සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් තේරීපත් වූ උන්වහන්සේ අපවත් වනවිට 96 වැනි වියෙහි පසුවූහ.
1982 දී අස්ගිරි මහවිහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ධුරයට පත් උන්වහන්සේ 1994 වසරේදී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත්ව එම වර්ෂයේදී මහෝපාධ්‍යාය පදවියට පත්වූහ. වර්ෂ 1999 දෙසැම්බර් මස 13 වැනිදා අස්ගිරි මහවිහාර පාර්ශ්වයේ අනුනායක පදවියට පත් උන්වහන්සේ ඉන් සය වසරකට පසු 2015 වසරේ මැයි 08 දින උත්තරීතර මහනායක පදවියට පත්වූහ.