එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් වැඩසටහනට සමගාමීව දියවන්නා වෙසක් කලාපයේ දෙවැනි දින ප්රමුඛ පිංකම වූ භික්ෂූන් වහන්සේලා 500 නමක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට කථානායක නිල නිවස දක්වා පිණ්ඩපාත චාරිකාවේ වැඩමවීම අද (11දා) උදෑසන සිදුකෙරිණි.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් වැඩම කළ මහා සංඝරත්නය කථානායක කරු ජයසූරිය මහතා විසින් ගෞරව බහුමානයෙන් පිළිගනු ලැබීය.
අලංකාර දර්ශනයකින් යුතු මහා පිණ්ඩපාත චාරිකාව අවසානයේ පන්සියය නමක් මහා සංඝරත්නය උදෙසා කථානායක නිල නිවසේදී දක්ෂිණාවක් පූජාකෙරිණි.
මේ අවස්ථාවට සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, අමරපුර ධම්මරක්ඛිත නිකායේ අනුනායක වටගෙදර විමල බුද්ධි හිමි, බෙල්ලන්විල රාජමහා විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති අනුනායක හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.