ආජන්ටිනා පාපන්දු ක්රීඩක එමිලීනෝ සාලා සහ ඔහුගේ ගුවන් නියමුවා සමග සාගරයට කඩා වැටුණු ගුවන්යානයේ සුන්බුන් අතර තිබී හමු වූ මළසිරුර ඔහුගේම බවට සනාථ කර තිබේ.
පොලීසිය මෙය සනාථ කිරීමත් සමග නිවේදනයක් නිකුත් කරමින් කාඩිෆ් සිටි පාපන්දු කණ්ඩායම පැවසුවේ, "අපගේ හද පිරි කණගාටුව සහ සංවේගය එමිලීනෝ සාලාගේ පවුල වෙත පළ කරනවා. ඔහු සහ ඩේවිඩ් අපගේ සිත් තුළ හැමදා රැඳේවි" යනුවෙනි.
එසේම ලොව පුරා පාපන්දු ක්රීඩකයින් රැසක් එමිලීනෝ සාලාගේ මරණය ගැන සිය ශෝකය පළ කළ අතර, ගුවන් අනතුරු පරීක්ෂණ ඒකකය පැවසුවේ "අභියෝගාත්මක තත්ත්වයන්" යටතේ සිදු කෙරුණු මෙම මෙහෙයුම සඳහා විශේෂඥයන්ද යොදා ගත් බවය.
Piper Malibu N264DB නම් වූ මෙම සැහැල්ලු යානය ඉංග්රීසි ඕඩයට ඉහළින් පියාසර කරමින් තිබිය දී එහි නියමුවා සහ 28 හැවිරිදි පාපන්දු ක්රීඩක සාලා සමඟ අතුරුදන් වූයේ මීට දෙසතියකට ඉහතදී ය.
කාඩිෆ් පාපන්දු කණ්ඩායම විසින් පවුම් මිලියන 15ක් ගෙවා මෙම පාපන්දු ක්රීඩකයා මිලදී ගනු ලැබූ බව නිවේදනය කරනු ලැබුවේ මෙම අනතුර සිදුවීමට දින දෙකකට පෙරය.
එම නිවේදනයෙන් අනතුරුව, ඔහු ඊට පෙර ක්රීඩා කරමින් සිටි නැන්ටීස් කණ්ඩායමේ සහෝදර ක්රීඩකයන් හමුවීම සඳහා ප්රංශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන්නේය.
කෙසේ වෙතත්, යානය සොයා සිදුකෙරුණු නිල මෙහෙයුම් ජනවාරි 24 වැනිදා අතහැර දැමුනේ "කිසිවෙකු ජීවතුන් අතර සිටිය හැකි බවට අපේක්ෂා කිරීම ඉතා අසීරු" බව ගර්න්සි වරායේ ප්රධානියා ප්රකාශ කිරීමෙන් අනතුරුවය.
කෙසේ නමුත්, පෞද්ගලික ධනය යොදවා සිදු කරන ලද මෙහෙයුමකින් යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකි විය.
මේ අතර සාලා ක්රීඩා කළ ප්රංශයේ නැන්ටීස් කණ්ඩායමේ බලධාරීන් කාඩිෆ් සිටි කණ්ඩායමෙන් තමන්ට ලැබිය යුතු පවුම් මිලියන 15 ගෙවන ලෙස බලකර සිටින බවද දැනගන්නට ලැබෙයි.