සිම්බාබ්වේ රන් පතල් පවතින ප්‍රදේශයක හදිසියේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවක් හේතුවෙන් පතල්කරුවන් විශාල පිරිසක් පතල් තුළ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කරයි.
කඩෝමා නගරය ආසන්නයේ වූ පතල්වලට මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇති වී තිබෙන අතර, මුදාගැනීමේ කණ්ඩායම් ජල පොම්ප භාවිත කරමින් ඒවායේ වූ ජලය ඉවත් කරමින් මියගිය අයගේ සිරුරු හෝ සොයාගැනීමට උත්සාහ කරයි.
මෙම අනතුරට මුහුණදුන් සිල්වර් මූන් පතල සහ ක්‍රිකට් පතල රජයේ ලියාපදිංචි පතල් ද්විත්වයක් ලෙසද සැලකෙන අතර, මෙම පතල්කරුවන් අවසර ගෙන මෙම පතල තුළ කැණීම් සිදුකරමින් සිටියේද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි වී නැත.
පැවති අයහපත් කාලගුණය සමග වේල්ලක් කැඩී යාමද මේ ආකාරයේ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීමට හේතු වී තිබේ.
එරට මාධ්‍ය පවසන ආකාරයට මෙම පතල් ද්විත්වයේම පතල්කරුවන් 38 දෙනෙකු පමණ රැඳි සිටින්නට ඇති බව විශ්වාස කරන අතර, ඔවුන්ගෙන් කිසිවෙකුත් දිවි ගලවාගන්නට ඇති බව විශ්වාස නොකෙරෙයි.
සති දෙකක කාලයක් තුළ මෙම කලාපයේ පතල් ආශ්‍රිතව සිදුවූ තෙවැනි මාරාන්තික අනතුර මෙය ලෙසද සැලකෙයි.