සිම්බාබ්වේ රාජ්‍යයේ නීතිවිරෝධී පතල් කැණීමකදී හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එම පතල්වල සිරවූ පතල්කරුවන්ගෙන් 9 දෙනෙකු බේරාගෙන තිබේ.
මෙසේ ජීවිත බේරාගත් පිරිස පතල් තුළ උස් භූමි තුළ රැඳෙමින් තම කර වටක් දක්වා ජලය පිරෙන තුරුත් එහි රැඳී සිට ඇති අතර, අවසානයේ මුදාගැනීම් මෙහෙයුම්වලදී ඔවුන් හමුවී ඇත.
කෙසේ වෙතත්, මීටර් 40ක් පමණ ගැඹුරු මෙම පතල්වල සිටි පතල්කරුවන් රැසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
ජීවිත බේරාගත් පතල්කරුවන් පවසා තිබුණේ මියගිය හෝ අතුරුදන් බොහෝ දෙනෙකු වයස අවුරුදු 24ට අඩු අය බවයි.
මෙම අනතුර සිදුව මේ වනවිට දින දෙකකට වඩා ගතවී ඇතැත් තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් අතුරුදන් වූ පතල්කරුවන් සොයන බවද විදෙස් වාර්තා පවසයි.