සිඩ්නි නුවර අලුත් අවුරුදු ගිනිකෙළි අවලංගු කර ඒ මුදල් නගරයට තර්ජනයක් වන ගින්න මැඬපැවැත්වීම සඳහා වැය කරන ලෙස ඉල්ලා මිලියනයකට වැඩි පිරිසක් පෙත්සමකට අත්සන් කර තිබේ.
පසුගිය වසරේ සිඩ්නි නුවර ගිනිකෙළි සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.8ක් වියදම් කළ බව පෙත්සමේ සඳහන් වේ.
දැනටමත් වායුගෝලයේ ඇති තරම් දුමාරය සමඟ කටයුතු කරන ඇතැම් පුද්ගලයින්ට මෙයින් තවත් කම්පනය ඇති විය හැකි බැවින් දර්ශනය අවලංගු කළ යුතු බවද එහි කියැවෙයි.
නමුත් සිඩ්නි නගරාධිපති ක්ලෝවර් මුවර් පැවසුවේ ගිනිකෙළි සංදර්ශනය පෙර පරිදිම මෙවරත් පැවැත්වෙන බවයි.
පෙත්සමට අත්සන් තැබූ අයගේ ඉල්ලීම ගැඹුරින් සලකා බැලුවත්, මීට මාස 15කට පෙර පෙර ගිනිකෙළි සැලසුම් කර තිබූ බවත්, එහි අයවැයෙන් වැඩි ප්‍රමාණයක් දැනටමත් වියදම් කර ඇති බැවිනුත් එය නැවැත්විය නොහැකි බව පවසයි.
"අපට ගිනිකෙළි අවලංගු කිරීමට හැකි වන්නේ නෑ. අපට හැකි වුවද එසේ කිරීමෙන් එතරම් ප්‍රායෝගික ප්‍රතිලාභයක් නොලැබෙනු ඇති" යැයි පෙත්සම අත්සන් කරන අඩවියේ නගරාධිපති සටහනක් තබා තිබුණි.
කෙසේ වෙතත්, Change.org පෙත්සමට අත්සන් කළ ඔස්ට්‍රේලියානුවන් පැවසුවේ මෙම ගිනිකෙළි සංදර්ශනය රටටම “අපහාසයක්” වනු ඇති බවයි.