නීතිවිරෝධී ආකාරයට ඔස්ට්‍රේලියාවට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට පත්ව මානුස් දූපතේ වසර ගණනාවක් රඳවා සිටින ඉරාන ජාතික කුර්දි මාධ්‍යවේදියෙකු ලියූ කෘතියට ඔස්ට්‍රේලියාවේ ඉහළම සාහිත්‍ය සම්මානය හිමිව තිබේ.
බෙහෙරූස් බූචානි නමැති ඉරාන කුර්දි වැසියෙකු වන ඔහු, 'No Friend But the Mountains: Writing from Manus Prison' නම් වූ කෘතිය මනුස් දූපතේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක සිට ලියා ඇත්තේ, වට්ස්ඇප් හරහා කෙටි පණිවුඩ සටහන් තබමිනි.
කෘතිය 2019 වසරේ සාහිත්‍යය සඳහා වන වික්ටෝරියානු සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර, එම ත්‍යාග මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000 කි.
සාහිත්‍ය වෙනුවෙන් පිදෙන ත්‍යාගයට අමතරව, 'No Friend But the Mountains' කෘතිය ප්‍රබන්ධ නොවන විශිෂ්ටතම කෘතිය සඳහා වන ත්‍යාගයද දිනාගැනීමට සමත්ව තිබේ. එහි ත්‍යාග මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000 කි.
කෙසේ වෙතත්, තවමත් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර නොමැති ඔහු මෙම කෘතිය වට්ස්ඇප් හරහා ලියා ඇත්තේ සෝදිසි මෙහෙයුම්වලදී ඔහුගේ පිටපත් හසුවී ඒවා විනාශ කරාවි යැයි යන බියෙනි.
වික්ටෝරියානු සාහිත්‍ය ත්‍යාගය සඳහා එම කෘතිය තෝරාගත් විනිශ්චය මණ්ඩලය සඳහන් කර ඇත්තේ, එම කෘතිය "සාමාන්‍ය විස්තර කිරීමකින් ඔබ්බට ගොස් විවේචනාත්මක න්‍යායක් භාවිත කරමින් නිර්මාණය කළ විශිෂ්ට කෘතියක්" බවය.
සාහිත්‍යය සඳහා වන වික්ටෝරියානු ත්‍යාගය සඳහා ඉදිරිපත් විය හැක්කේ, ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් වුවත්, විනිශ්චය මණ්ඩලයේ නිර්දේශය මත බූචානිගේ කෘතිය ඒ සඳහා ඇතුළත් කරගෙන තිබිණි.
රැකවරණ පතා බෝට්ටු ඔස්සේ පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඔස්ට්‍රේලියාව සැබෑ සරණාගතයින් බවට හඳුනා ගත්ත ද එසේ පැමිණෙන පුද්ගලයන්ට සිය රටේ පදිංචි වීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥා දී තිබේ.
මුහුද ඔස්සේ රට තුළට ඇතුළුවීමට දරන අනතුරුදායක උත්සාහයන් වැලැක්වීම සඳහා එවැනි ප්‍රතිපතියක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියාව අවධාරණය කරයි.