ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 යානා අනතුර සමග උද්ගතව ඇති මැක්ස් යානා සම්බන්ධ ගැටලුව නිසා ඉන්දුනීසියාවේ ගරූඩා ගුවන් සේවය එම යානා 49ක ඇණවුමක් අවලංගු කිරීමට සූදානම් වෙයි.
මෙම අනතුරෙන් පසුව මැක්ස් යානා සම්බන්ධයෙන් ගුවන් සේවයක් විසින් ප්‍රථම වරට ඇණවුමක් අවලංගු කිරීමට කටයුතු කළ අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගරූඩා ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු කියා තිබුණේ, මැක්ස් යානා සම්බන්ධයෙන් මගීන් තුළ මේ වනවිට විශ්වාසය බිඳ වැටී තිබීම මෙම තීරණයට හේතුව බවයි.
පසුගියදා පුද්ගලයන් 157 දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු මැක්ස් 8 යානය මෙන්ම, පසුගිය වසරේ ඉන්දුනීසියානු මුහුදට කඩා වැටුණු ලයන් එයාර් ගුවන් සේවයට අයත් මැක්ස් 8 යානයද එකී අනතුරු සිදුවන අවස්ථාවේදී සමාන හැසිරීමක් පෙන්වා ඇති බව මේ වනවිට අනාවරණය වෙයි.
ඒ අනුව, ඇ.ඩො.බිලියන 4.9ක වටිනාකමකින් යුතු අදාළ ගනුදෙනුව අවලංගු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ගරූඩා ගුවන් සේවය බෝයිං සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ.