කුඩා ඔරංඋටං පැටවෙකු ඉන්දුනීසියාවෙන් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු දෙකක් පමණ වයසැති මෙම ඔරංඋටං පැටවා වේවැල් කූඩයක බහා ගුවන් තොටුපොළින් ඉවතට ගැනීමට ඔහු උත්සාහ කළත්, ආරක්ෂක අංශවල උකුසු ඇස හමුවේ ඇන්ඩ්රෙයි සෙස්ට්කොව් නමැති මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇත.
එහිදී, මෙම සත්වයා තමාට මිතුරෙකු ලබාදුන් බවත්, ඔහු ඇ.ඩො.3,000ක මුදලකට එම සත්වයා මිලදී ගත් බව තමාට පැවසූ බවත් ඔහු ආරක්ෂක අංශ ප්රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
ඔරංඋටං සත්වයන් මේ වනවිට වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති නිසා, එරට තුළ ඔවුන් ආරක්ෂිත සත්ව කෝට්ඨාසයක් ලෙස සැලකෙයි.
ඒ අනුව, මෙම රුසියානු ජාතිකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට වසර 5ක සිර දඬුවමකට හා දඩයකට ලක්වීමට සිදුවනු ඇත.