උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග යළි සාකච්ඡා නොකරනු ඇති අතර, සිය මිසයිල හා න්‍යෂ්ටික පරීක්ෂණ නැවත ආරම්භ කරනු ඇති බව එරට රජයේ ජ්‍යෙෂ්ඨයෙකු පවසා තිබේ.
උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෝඊ සන්-හුයි එරට සිටින විදේශ තානාපතිවරුන් හමුවේ මෙම අදහස් දැක්වීම සිදුකර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදය ඉතා වටිනා අවස්ථාවක් මඟහැර ගත් බවද පවසා ඇත.
විශේෂයෙන්ම සිය ප්‍රධාන න්‍යෂ්ටික පරීක්ෂණ මධ්‍යස්ථානය වන යොන්ග්බයෝන් හි කටයුතු සම්පූර්ණයෙන් ඉවත්කර ගැනීමේ යෝජනාවක්ද ඔවුන් ඇමෙරිකාව වෙත ඉදිරිපත් කර තිබුණි.
නමුත්, උතුරු කොරියාව මේ වෙනුවෙන් ඉල්ලා සිටි සම්බාධක ඉවත්කිරීම ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත හෙළා තිබුණේ එරට වූ සියලු න්‍යෂ්ටික පරීක්ෂණ මධ්‍යස්ථාන විනාශ කර දමන ලෙස පවසමිනි.
උතුරු කොරියානු නායකයා හා ඇමෙරිකානු නායකයා අතර ප්‍රථම හමුව පසුගිය වසරේ ජුනි මාසයේදී සිංගප්පූරුවේදී පැවති අතර, එය වඩාත් සාර්ථක සමුළුවක් ලෙස ලෝකයද සැලකීය.
එහි දිගුවක් ලෙස පසුගියදා වියට්නාමයේදී යළිත් වරක් නායක දෙපළ හමුවෙමින් න්‍යෂ්ටිකහරණ වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළත්, මෙහිදී කිසිවෙකු නොසිතූ පරිදි සාකච්ඡා බිඳ වැටුණි.